සිරිපා අඩවියෙන් නවතම සර්ප විශේෂයක් විදු ලොවට.

අපේ රට
සිරිපා අඩවියෙන් නවතම සර්ප විශේෂයක් විදු ලොවට.

අපගේ සාමූහික පර්යේෂණ කාර්‍යයක් මඟින් ශ්‍රී ලංකාවේ ශ්‍රීපාද අඩවියෙන් සොයාගත් නවතම සර්ප විශේෂය මෙසේ විදු ලොවට එක් විය.

 

මෙම හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ශ්‍රී පාද කූටයෙහි බටහිර බෑවුම් පෙදෙසින් පමණක් වාර්තා වන Aspidura ravanai (ඇස්පිඩුරා රාවණයි) ලෙස නම් කරන ලද නවතම සර්ප විශේෂයක් පිළිබඳවයි. මෙම සර්ප විශේෂයෙහි දක්නට ලැබෙන සුවිශේෂී වර්ණ රටාව, කොරල වින්‍යාසය, අණුක වංශ ප්‍රවේණිකතාවය අනුව Aspidura ගණයේ අනෙකුත් සාමාජිකයන්ගෙන් මෙම විශේෂය පැහැදිලි ලෙස වෙනස් වන බව L. J. මෙන්ඩිස් වික්‍රමසිංහ, දුලාන් රංග විදානපතිරණ , H. K. දුෂාන්ත කණ්ඩම්බි, R. ඇලෙක්සැන්ඩර් පයිරන් සහ නෙතු වික්‍රමසිංහ යන පර්යේෂණ කණ්ඩායම විසින් සොයාගන්නා ලද අතර ඔවුන් විසින් මෙම නව සර්ප විශේෂය විදු ලොවට හෙළි කල පර්යේෂණ ලිපිය ZOOTAXA යන ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ වසර 2017ක් වූ නොවැම්බර් මස 13 වන දින ප්‍රකාශයට පත් විය. එම නව සුබෙදු විද්‍යාත්මක සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ වාර්තාවන මැඩිල්ලන් විශේෂ ගණන අටක් බවට පත් විය.

 

පර්යේෂණ කණ්ඩායම

 

Aspidura (ඇස්පිඩියුරා) ගනය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික සර්පයින් කොටසක් අයත්වන ගනයක් වේ. ඉංග්‍රීසි බසින් Rough-side snakes ලෙසින් මොවුන් හඳුන්වනු ලබන්නේ මෙම සර්පයින්ගේ ජම්බාලිය ආසන්නයේ ශරීරයේ දෙපස කොරල වල ප්‍රමුඛ කීලක හෝ නෞතල දක්නට ලැබෙන බැවිණි. පොදුවේ ගත් කල මැඩිල්ලන් යනු විෂ රහිත, මි.මී. 170 සිට මි.මී. 736 තෙක් දිගින් වැඩෙන අර්ධ කවාකාර හෝ උල් හැඩති හොම්බක් සහ හොඳින් වෙන්වී නොපෙනෙන ගෙලක් සහිත, සිලින්ඩරාකාර සිහින් දේහයක් සහ කෙටි වල්ග ඇති අර්ධ පාංශු සර්පයින්වේ. මොවුන්ගේ ලෝරියල් කොරල නොපිහිටීම, අන්තර් නාස් කොරල එකක් පිහිටීම, ගුද කොරලය සහ පෞචඡ උදරීය කොරල නොබෙදී පිහිටීමද පොදු ලක්ෂණයන් වේ. හොඳින් සෙවණ සහිත හියුමස් බහුල බුරුල් පස තුල, ගල් යට, පොළව මතුපිට සිට මීටර් 1.5 ක් පමණ ගැඹුරට යන තෙක් පස මොවුන් වඩාත් කැමති වාසස්ථාන ආකාර වේ.

 

මෙම නව විද්‍යාත්මක සොයාගැනීමෙන් පසු මුළු ලොවින්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ Aspidura ගණයේ සර්ප සාමාජිකයන් ගණන 8ක් දක්වා ඉහල ගිය අතර ශ්‍රී ලංකාවට පමණක් ආවේණික මුළු සර්ප විශේෂ ගණන 51 දක්වාද, ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා කර ඇති සමස්ථ සර්ප විශේෂ ගණන 104ක් ලෙසද ඉහල ගියේය.

 

බොයි විසින් 1827දී (Boie, 1827) මෙරටින් පළමු මැඩිල්ලන් විශේෂය විස්තර කරන ලද අතර Seytale brachiorrus ලෙස එවකට මෙම සාමාජිකයා විද්‍යාත්මකව හඳුන්වන ලදී. වර්තමානයේ Aspidura brachiorrus යන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් සහ “ලේ මැඩිල්ලා” යන සිංහල නාමයෙන් මෙම Aspidura ගණයේ සාමාජිකයා හඳුන්වයි.
1864 වර්ෂයේදී ගුන්තර් විසින් (Gunther, 1864) Aspidura copei යන මැඩිල්ලන් විශේෂය මෙරටින් සොයාගත්තේය. කළු මැඩිල්ලා යන සිංහල නමින් හඳුන්වන මෙම විශේෂය පිළිබඳව දැනට දතු දන්නේ කෞතුකාගාර නිදර්ශක 7කින් පමණක් වන අතර පූර්ණදර්ශයේ (holotype) හමුවූ ස්ථානය පිලිබඳ විස්තරයද දක්නට නැත.

 

සිරිලකින් Aspidura guentheri යන මැඩිල්ලන් විශේෂය 1876 දී ෆ(ර්)ගසන් (Ferguson, 1876) විසින් විස්තර කරන ලදී. “කුඩා මැඩිල්ලා” යන සිංහල නමින් හඳුන්වන මෙම සර්ප විශේෂය ශ්‍රී ලංකාවේ හමුවන කුඩාතම Aspidura ගණයේ සාමාජිකයා වේ. කුඩා මැඩිල්ලන් පහතරට තෙත් කලාපයේ වඩාත් සුලභව හමුවේ.

 

කොපෙ විසින් 1860 දී (Cope, 1860) Aspidura trachyprocta යන මැඩිල්ලන් විශේෂය විස්තර කරන ලද අතර මෙම විශේෂය “දළව මැඩිල්ලා” යන සිංහල නමින් හඳුන්වයි. මු.ම.උ.මී. 1500 ට වැඩි උන්නතාංශ වලින් පමණක් හමුවන මෙම විශේෂය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශ වලින් පමණක් ඉතා සුලභව වාර්තා වේ.

 

1904 වසරේදී බොවුලන්ජර් (Boulenger, 1904) විසින් Aspidura drummondhayi යන මැඩිල්ලන් විශේෂයක් පිළිබඳව විස්තර කරන ලදී. බලංගොඩ හොප්වෙල් වතුයායෙන් සොයාගන්නා ලද මෙම විශේෂය ආසන්න වශයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 1066ත් 1280ත් අතර ප්‍රදේශයේ හමුවන බව ඔහු වාර්තා කර ඇත. මෙම සර්ප විශේෂය කෙටිවල් මැඩිල්ලා යන සිංහල නමින් හඳුන්වයි.

 

Aspidura daraniyagalae යන විශේෂය ගෑන්ස් සහ ෆෙට්කෝ විසින් 1982 (Gans & Fetcho, 1982) දී විදු ලොවට හඳුන්වා දෙන ලදී. එමෙන්ම එය Aspidura ගණයේ සර්ප සාමාජිකයෙකු පිළිබඳව සිදුකරන ලද අවසාන වර්ගීකරණ විද්‍යාත්මක විස්තර කිරීමද වේ.
Aspidura ගණයේ හත්වැනි සාමාජිකයා වන්නේ ගුන්තර් විසින් 1858 දී (Günther, 1858) වාර්තා කරන ලද Haplocercus ceylonensis යන විශේෂයි. පෙරදී මෙම විශේෂය Haplocercus යන ඒකදර්ශී ගණයෙහිලා සැලකුවද 2013 වසරේ දී පයිරන් ඇතුළු පිරිස (Pyron et al. 2013) විසින් සිරිලක සර්පයින්ගේ අනුක වංශප්‍රවේණිකතාව පිළිබඳ සිදුකල පර්යේෂණයේ අවසන් ප්‍රතිඵල අනුව මෙම විශේෂයද Aspidura ගණයටම අයත් වන බව සනාථ කරන ලදී. එබැවින් වර්තමානයේ මෙම විශේෂය Aspidura ceylonensis යන නව විද්‍යාත්මක නමින් සහ පෙරදීද භාවිතා කල කුරුන් කරවලා / රත් කරවලා යන සිංහල නම් වලින්ද හඳුන්වයි.

 

ශ්‍රී ලංකාවේ අන්තරායට ලක්වූ තක්සෝන පිළිබඳව සිදු කරන ලද නවතම ලයිස්තුගත කිරීම් වලට අනුව මැඩිල්ලන් විශේෂ 5ක් වඳවීයාමේ තර්ජනයට ලක්වී ඇත. A. deraniyagalae දැඩි අන්තරායට ලක්වූ (CR-Critically Endangered) ජීවී විශේෂයක් ලෙසද , A. ceylonensis, A. drummondhay සහ A. trachyprocta අන්තරායට ලක්වූ (EN-Endangered) ජීවී විශේෂ ලෙසද, A. brachyorrhos අවදානමට ලක් වූ (VU-Vulnerable) ජීවී විශේෂයක් ලෙසද, A. guentheri තර්ජනයට ලක්වීමට ආසන්න (NT-Near Threatened) ජීවී විශේෂයක් ලෙසද එහි ලැයිස්තුගත කර ඇත. A. copei දතු හීන (DD-Data Deficient) ජීවී විශේෂයක් ලෙස එහි වැඩිදුරටත් දක්වා ඇත.

 

මෙහි විස්තර කෙරෙන Aspidura ravanai යන නව සර්ප විශේෂය වාර්තා කරන ලද්දේ ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ සහ නකල්ස් ලෝක උරුම කලාපයේ කොටසකට අයත් වන සමනල කන්ද ස්වභාව රක්ෂිතයේ උරග හා උභයජීවී විවිධත්වය පිලිබඳ ප්‍රලේඛන කාර්යය සිදුකරගෙන යන අතරතුර එම ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙසය. මෙම විශේෂය පැහැදිලි ලෙසම අනෙකුත් මැඩිල්ලන් විශේෂ වලින් සෑම සමගණතා පාදකයකින්ම වෙනස් වන්නේ ප්‍රමාණයන්ගේ සහ කොරල වින්‍යයාසයේ බහුවිධ ලක්ෂණ වලින් සහ ශරීරයේ හිසේ සිට වලිග කෙලවර තෙක් පාර්ශ්වික-උදරීය පෘෂ්ඨය මතුපිටින් දිවෙන කැපී පෙනෙන කහ පැහැති පාර්ශ්වික රේඛාව මඟිනි.

 

“රාවණාගේ මැඩිල්ලා” ( Aspidura ravanai) බොහෝසෙයින්ම සමීප සමානතාවයක් දක්වන්නේ “දළව මැඩිල්ලා” (A. trachyprocta) යන විශේෂයටය. මෙම විශේෂ දෙකෙහිම ශරීර ප්‍රමාණය, පූර්ව අක්ෂි කොරල 1ක් වීම, අපර අක්ෂි කොරල 2ක් වීම, ශංඛක කොරල 1+2ක් වීම, උඩු තොල කොරල 6ක් වීම (4 වන කොරළය ඇස හා ස්පර්ශ වේ.), යටි තොල කොරල 6ක් වීම, මධ්‍ය දේහයේ හරස් කොරල පේළි 15ක් වීම, ගුද කොරල 1ක් වීම, උදරීය සහ පෞච්ච උදරීය කොරල ගණනයන් අතිපිහිත වීම, වාසස්ථාන ආකාරයන් සමාන ලක්ෂණ වේ.

 

නමුත් රාවණාගේ මැඩිල්ලාගේ..,
01. ශරීරයේ සම්පූර්ණ පෘෂ්ඨීය පෙදෙසම තද කළු (Jet Black)පැහැයක් ගැනීමද (රතට හුරු කහ- දුඹුරු පැහැති දළව මැඩිල්ලන්ගේ ශරීර පෘෂ්ඨය මධ්‍යයෙන් දික් අතට දිවෙන කළු පැහැති රේඛාවක්ද ඇත.) ,
02. පාර්ශ්වික-උදරීයව ශරීරයේ දික් අතට දිවෙන කහ පැහැති රේඛාවද (දළව මැඩිල්ලන්ගේ ඇත්තේ කළු පැහැති රේඛාවකි.)
03. ජම්බාලිය ආසන්නයේ කණ්ඨකාකාර කුඩා ගැටිති රහිත වීමද (දළව මැඩිල්ලන්ගේ ඇති අතර පිරිමි සතුන්ගේ වඩාත් ප්‍රමුඛය),
04. වැටියක් රහිත පටු අග්‍රයක් ඇති දෙබල් ලිංගික අවයවය පෞච්ච උදරීය කොරල 5ක් තරම් දුරකට ගමන් කරීමද (වැටියක් සහිත පළල් අග්‍රයක් ඇති දළව මැඩිල්ලන්ගේ දෙබල් ලිංගික අවයවය ගමන් කරන්නේ කොරල 3-4 තරම් දුරකටය.)
යන මෙම රූපවිද්‍යාත්මක ලක්ෂණ වලින් ඉතා පහසුවෙන්ම රාවණාගේ මැඩිල්ලා වෙන්කර හඳුනාගත හැක.

 

රාවණාගේ මැඩිල්ලාගේ සාමාන්‍ය ශරීර කොරල වින්‍යාසය මෙසේය. උදරීය කොරල 139, පළමු පූර්ව උදරීය කොරළය පළලට වඩා දිගුය; නොබෙදුණු පෞච්ච උදරීය කොරල 29; විශාල තනි ගුද කොරලයකි. මධ්‍ය දේහයේ හරස් කොරල 15-15-15.

 

ජීවී සතුන් පෘෂ්ඨීයව තද කළු පැහැති වේ. හතරවන උඩුතොල කොරලයේ සිට ගෙල පෙදෙස දක්වා උදරීය-පාර්ශ්විකව දීප්තිමත් කහ පැහැති තීරයකි. එය ගෙල පෙදෙසේ සිට වලිග කෙලවර තෙක්ම උදරීය-පාර්ශ්විකව දිවයයි. එය ශරීර මධ්‍යයේදී ඇතැම් විට ඛණ්ඩනය වී තිබිය හැක. උදරීයව කළු පැහැති වන අතර කහ පැහැති පැල්ලම් විසිරී තිබෙනු දක්නට ලැබේ. උගුර ප්‍රදේශයද ප්‍රමුඛව දීප්තිමත් කහ පැහැතිය.

 

රාවණාගේ මැඩිල්ලා හමුවන්නේ මු.ම.උ.මී. 1650 ත් 2000ත් අතර උන්නතාංශයක පිහිටන කඳුකර වළාකුල් වනාන්තර වලිනි. මොවුන් වැඩි වශයෙන් හොඳින් සෙවණ ලැබෙන ප්‍රදේශ වල ඝන දිරායන කොළ රොඩු ස්ථරයකින් වැසුණු බුරුල් පස තුල හෝ කොටන් යට හමුවන අතර බිම් මට්ටමේ සිට සෙ.මී. 30ක් පමණ ගැඹුරින්ද හමුවේ.

 

දැනට විශ්වාස කරන අන්දමට මීට අවුරුදු පන්දහසකට පෙර සිරිලක රජකල බවට සැලකෙන බලවත් අධිරාජ්‍යයෙකුව සිටි අපරිමිත බුද්ධියකින් සහ බලයකින් හෙබි රාවණා රජු වෙනුවෙන් විශේෂ විරුදනාමයක් ලෙස “රාවණා” යන නාමය මෙම විශේෂය නම් කිරීම සඳහා යොදා ගැනින.

 

ඒ අනුව ගණ නාමය Aspidura (ඇස්පිඩියුරා) ලෙසද, විශේෂ නාමය ලෙස ravanai (රාවණයි) යන නාම පදයද යොදා “Aspidura ravanai” (ඇස්පිඩියුරා රාවණයි) ලෙස විද්‍යාත්මක නාමකරණය සිදුකොට ඇත. දේශීය ව්‍යවහාරික සිංහල නාමය ලෙස “රාවණාගේ මැඩිල්ලා” යන නමද, ඉංග්‍රීසි නාමය ලෙස Ravana’s rough-side snake යන නාමයද යොදා ඇත.

 

මෙම ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යාධාර සැපයීම වෙනුවෙන් අපගේ ප්‍රධාන අනුග්‍රාහක වන ඩිල්මා ආයතනයටත් පාර්ශ්වික ආධාර සැපයීම වෙනුවෙන් නගාඕ පරිසර පදනම වෙතටත් අපගේ හෘදයාංගම ස්තුතිය පිළිගන්වන්නෙමු.

 

නිවර්තන කලාපීය දිවයිනක් වන ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් අතිශයින් පොහොසත් දුපත් රාජ්‍යයකි. සත්ව සහ ශාක විවිධත්වය සහ ඒක දේශිකත්වය අතින්ද ශ්‍රී ලංකාවට ලෝකයේ ඉහලම ස්ථානයක් හිමිවේ. එමෙන්ම ශ්‍රී ලංකාව ලෝකයේ සර්ප සංහතිය අතින්ද බෙහෙවින් පොහොසත් වංශ ප්‍රවේණිකතා විවිධත්වයක්ද පෙන්වන රටකි. මෙම ලක්දෙරණ උභයජීවීන්ගෙන් මෙන්ම සර්ප සංහතිය අතින්ද ඒකදේශිකතාව සහ විවිධත්වයේ පොහොසත් බව අනුව ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් වුයේද නව විද්‍යාත්මක පර්යේෂණ වල ප්‍රතිඵල ලෙසිනි. ගන කිහිපයකට අයත් නව සර්ප විශේෂ කිහිපයක් පිළිබඳව ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විසින් නුදුරු අනාගතයේදී විදු ලොවට තතු හෙළි කිරීමට නියමිත නමුත් ශ්‍රී ලංකාවේ වනාන්තර තුල තවමත් විද්‍යාත්මකව සනාථ නොකරනලද ජීවී විශේෂ බොහොමයක් සැඟවී පවතින බැවින් මෙම දිවයිනේ වටිනාකම වූ ජෛව විවිධත්වයේ උරුමය විදහා දැක්වීම සහ ඒ ඔස්සේ දිනෙන් දින වැනසී යන පරිසරය සංරක්ෂණය කරගැනීම සඳහා නව විද්‍යාත්මක පර්යේෂණ බලාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී.


සටහන – එච්. කේ. දුෂාන්ත කණ්ඩම්බි
රාවණාගේ මැඩිල්ලාගේ සංරක්ෂිත පූර්ණදර්ශය සහ පාරාදර්ශ හා සබැඳි තොරතුරු-
Holotype. (පූර්ණදර්ශය)
NMSL-NH 2017.19.01 (Figure 3), adult male, 256 mm SVL, from Sri Pada upper region, Ratnapura district, Sabaragamuwa province, Sri Lanka, (0648’28”N, 08029’23”E, elevation 1,680 m a.s.l.): Coll. L.J.M. Wickramasinghe, D.R. Vidanapathirana, S.C. Ariyarathne, A.W.A. Chanaka, D. Kandambi and M.D.G. Rajeev on 05 February 2010.
Paratypes. (පාරාදර්ශ)
DWC 2017.05.01 (Figure 4A), adult female 414 mm SVL; DWC 2017.05.02 (Figure 4B), adult male 218 mm SVL. Collection data as for the holotype.
ZOOTAXA ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ පළවූ පර්යේෂණ පත්‍රිකාව.
http://www.mapress.com/j/zt/article/view/zootaxa.4347.2.4

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (67%)
  • සතුටුයි (33%)
  • හිනා යනවා (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)