මුදුන් මල්කඩ ධන්ත ටූල් එකෙන් වැස්ස නවත්තන්න බැරිද බං….?

මුදුන් මල්කඩ ධන්ත ටූල් එකෙන් වැස්ස නවත්තන්න බැරිද බං?

දන්ත ධාතුව කියන්නේ ඌරු දතක් කියලා පහුගිය දවසක සමන්තභද්‍ර හාමුදුරුවොත් කියලා තිබුනා. ඇත්තටම දන්ත ධාතුව කියන්නේ මිත්‍යාවක් වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්. හැබැයි ඔය මොකක් වුනත් දන්ත ධාතුව කියන වස්තුව එක්ක අපේ ජීවිත පුදුම විදියට බැඳිලා තියෙනවා.

 

කෙනෙක් කියනවා නම් දත්ත ධාතුව කියන්නේ බොරුවක් කියලා, කියවලා විතරක් වැඩක් වෙන්නේ නැහැ. දන්ත ධාතුව අරගෙන විද්‍යාත්මක පර්යේෂණයක් කරලා පැහැදිලි නිගමනයකට එළඹිලා දන්ත ධාතුව කියන්නේ බොරුවක් නම් ඒක ගිනි තියලා විනාස කරලා අළු ටිකත් විසි කරලා දාන්න ඕනේ. නමුත් එහෙම කරන්නත් බැරි නම් නොදන්නා මගුල් ගැන කතා නොකර කට වහගෙන ඉන්න ඕනේ. ඒකෙන් කියන්නේ මිත්‍යාවක් වුනත් පිළිගන්න හෝ මිත්‍යාවක් ඉස්සරහා කට වහගෙන බලාගෙන ඉන්න කියන එක නෙමෙයි. නොදන්නා මගුල් ගැන සාක්ෂියක් නැතිව කියවන්න ගිහිං වරිගේ නහගන්න එපා කියලයි.

 

දන්ත ධාතුව කියන එකත් එක්ක අපේ ජීවන රටාව කොයි තරම් බැඳිලා තියෙනවද කියලා පොඩ්ඩක් හිතමු. අපි කන බොන විදිය පවා, අපි කතා කරන විදිය පවා. අපි ඇවිදින විදිය පවා ඔය දන්ත ධාතුවත් එක්ක කොහෙන් හරි බැඳිලා තියෙනවා.

 

ඉස්සර මිනිස්සු වැව අමුණු හැදුවා, මහා විශාල කළා නිර්මාණ කළා, තාමත් විද්‍යාත්මක පර්යේෂණ වලින් හොයා ගන්න බැරි තරම් විදියේ විස්මිත වැඩ කළා, කියලා නිම කරගන්න බැරි තරම් විදියේ වෛද්‍ය විද්‍යාවක් ඉස්සර මිනිස්සු ළඟ තිබුනා. මේ යන්තං මතක් කලේ බොහොම පොඩි පොයින්ස්ට් ටිකක් විතරයි. ඉතිං ඒ මිනිස්සු හින්දා නෙමෙයිද අපි මේ විදියට අද ජීවත් වෙන්නේ? එහෙම කිව්වම අපේ උද්දච්ච උන් කියයි අපි ස්වාධීනව කාටවත් අත නොපා ජීවත් වෙනවා කියලා. ඒත් ඇත්තටම එහෙමද? ඒ ලොකු කතා ඕනේ නැහැ ඒ මිනිස්සු හදපු වැව් ටික නැත්තං අපි බත් ටිකක්වත් කන්නේ කොහොමද? අන්න එතනයි පොයින්ට් එක.

 

රටක් විදියට ශ්‍රී ලාංකීය ජාතියක් විදියට අපිට ශිෂ්ඨාචාරයක් තියෙනවා. හරි ලස්සන සංස්කෘතියක් තියෙනවා. හැබැයි අපේ උන් ඕවා ගැන කතා කරන්න හරි ලැජ්ජයි. කතා කලොත් කියන්නේ ඉරාජ් වගේ සංස්කෘතිය කුඩු කරන්න. ඔව්…. සංස්කෘතිය කුඩු කරන එක හොඳයි. හැබැයි සංස්කෘතිය කියන දේ හරියට දැනගෙන. සංස්කෘතිය දන්නා මිනිහෙක්, සංස්කෘතිය කුඩු කරන්නේ ඉරාජ් විදියට නම් නෙමෙයි…. අපේ මිනිස්සු හිතන්නේ සංස්කෘතිය කියන්නේ මිනිස්සුන්ව හිර කරන දෙයක් කියලා. නැහැ…. සංස්කෘතිය කියන්නේ මිනිස්සුන්ට අලුත් විදියට හිතන්න පුරුදු කරන වටිනා දෙයක්. හැබැයි අපේ මිනිස්සු සංස්කෘතිය කියන වචනයවත් හරියට ශබ්ද කරගන්න දන්නේ නැහැ…. එහෙව් එකේ කොහෙද අපේ මිනිස්සුන්ට සංස්කෘතියක්….? සංස්කෘතිය කුඩු කරනවා කියන්නේ එදා නිර්මාණ සහ ජීවන රටාව අද අලුත් තාක්ෂනය එක්ක බද්ධ කරන විදියට…. හරියට පෝරණුවේ ගල් පුච්චලා, මඩ දාගෙන වැව් බඳින්න, දඩයම් කරලා පුච්චාගෙන කන්න කියනවා වගේ කතාවක් නෙමෙයි මේක….

 

ලිපිය දිග්ගැස්සෙන නිසා වැඩිය විස්තර කරන්නේ නැහැ. අවභෝදයෙන් තේරුම් ගමු. හැබැයි අපේ උන්ට අවභෝදයක් කියලා දෙයකුත් තියෙනවද කියලා සැකයි….

 

අපි යමු ජපානයට. ඒ මිනිස්සු සංස්කෘතිය රැකගෙන රටක් විදියට උපරිම ඉහල තැනක ඉන්නවා. සංවර කම, ආචාරශීලී කම, මිනිස්සුන්ට ගරු කරන විදිය…. අපිට හිතා ගන්නවත් බැරි තැනක තියෙනවා. ඒ මිනිස්සු හිතන්නේ ජපන් ජාතිකයෙක් විදියට ඉස්සරහට යන විදිය ගැන. අපේ උන් හිතන්නේ ඕස්ට්‍රේලියන් කාරයෙක් ඉතාලි කාරයෙක් නැත්තං වෙන මොකෙක් හරි හිපාටුවෙක් විදියට ඉස්සරහට යන විදිය ගැන. ඒ මිනිස්සු තාමත් කිමෝනාව අඳිනවා, Tea Ceremony තියනවා හැබැයි ඒ මිනිස්සුන්ට කිමෝනාව ඇන්දා කියලා විශේෂ දියුණුවක් ලැබිලා නැහැ. තමන්ගේ සංස්කෘතියට තමන්ගේ ශිෂ්ඨාචාරය ගරු කරගෙන තමයි රටක්, සමස්ථ ජාතියක් විදියට දියුණු වුනේ. නමුත් තමන්ට විතරක් උරුම වුනු ඒ ලස්සන සංස්කෘතිය ඔවුන් රැකගත්තා. අන්න එතැනයි ඔවුන්ගේ වටිනාකමේ ආරම්භය තිබුනේ. එතකොට අපේ අයත් කියයි අපෙත් එහෙම ඒවා තියෙනවා කියලා. හැබැයි නමට විතරයි…. අපි සංස්කෘතියකට, ශිෂ්ඨාචාරයකට ගරු කරන්න කලින් අපි අපිටවත්, අපේ ළඟ ඉන්න මිනිහාටවත්….? එච්චර දුර යන්න ඕනේනෑ අපිව ජාතක කරපු අම්මට තාත්තටවත් අපේ බහුතරය ගරුකරනවද?

 

දළදාව කියන්නෙ අපේ සංස්කෘතික කාරණාවක්. ඒක ආගමික සංකල්පයකට වඩා අපේ මිනිස්සුන්ගේ ජීවන රටාව, කලාව එක්ක බැඳුනු වටිනා දෙයක්. සමහරු ආගමික බලය තහවුරු කරගන්න, ඒ බලය රැකගන්න දළදාව අවියක් විදියට පාවිච්චි කලාට ඒක ඊට එහා ගිය සංස්කෘතික වස්තුවක්. ඇත්තටම දළදාව හෙලෙව්වා කියලා වහින්නේ නැහැ. විද්‍යාත්මකව නම් එහෙම වහින්න විදියක් නැහැ. හැබැයි එහෙම වුනත් නැතත් මේ විදියට දෙකයි පනහට අපේ සංස්කෘතිය දාන එක හරි කැතයි. පිට රටක වැසිකිලි වලක තියෙන ඩොලර් කෑල්ලක් දිවෙන් ගන්න යන්න හදන අපේ මිනිස්සු, අපේ රටේ තියෙන වටිනා සම්පත් රැකගන්න කවදාවත් හිතන්නේ නැත්තේ ඇත්තටම නූගත් කම හින්දයි. පොතේ පතේ දැනුම කොච්චර තිබුනත් තවත් කෙනෙකුට ගරු කරන්න, සංස්කෘතියකට ගරු කරන්න, අනුන්ගේ මතයක් ඉවසන්න පුළුවන් කමක් අපේ මිනිස්සුන්ට නැති කම නිසා නූගත් පඬිවරු ඉන්න රටක් කිව්වට කිසිම වරදක් නැහැ.

 

තව පරම්පරා දහස් ගණනක් මේ ලෝකය පැවතුනත් මේ රට සන්වර්ධනය වෙමින් පවතිනවාම තමයි…. මේක මේ දේශපාලනයේ වරදක් නෙමෙයි. රටේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප වල ප්‍රශ්නයක්…. තමන්ගේ දේ අගයන, තමන්ගේ දේ හරහා අලුත් විදියට නොහිතන ජාතියක් කවදාවත් ලෝකයේ ඉස්සරහට යන්නේ නැහැ කියන එකත් මතක තියා ගන්න.

 

 

ඒ නිසා අන්තිමට මේ පෝස්ට් එක දාපු මහත්තයාට කියන්න තියෙන්නේ. විනයක් නැති කමේ වරද කියලා මිසක් වෙන මොකක්ද?

 

මේ කියපු හැම කාරණාවක්ම කිව්වේ ලිපිය දිග්ගස්සන්න බැරි නිසා බොහොම සරලව කෙටියෙන්. අපි ටික ටික මේ ගැන කතා කරමු.


රවිඳු ප්‍රනාන්දු

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (65%)
  • සතුටුයි (11%)
  • හිනා යනවා (8%)
  • දුකයි (3%)
  • තරහයි (14%)