“ඇතා මරපු නිසයි මේ කුනාටුව” – කාලගුණ විශේෂඥයන් පවසති

"ඇතා මරපු නිසයි මේ කුනාටුව" - කාලගුණ විශේෂඥයන් පවසති

වෙඩි තබා ඝාතනය කර තිබියදී දින කිහිපයකට පෙර සිරුර සොයා ගත් ගල්ගමුවේ දලපූට්ටුවා ලෙසින් හඳුන්වන ඇතාගේ කුරිරු ඝාතනය නිසා සොබා දහම් මාතාව කම්පා වී ඇති බව Facebook වාසී කාලගුණ විශේෂඥයන් පවසනවා.

 

ඇතාගේ සිරුර සොයාගත්තේ දින කිහිපයකට පෙරදී වන අතර, ඝාතනය සිදු වී තිබෙන්නේ අවම සති දෙකකට පමණ ඉහතදී බවයි වනජීවී නිලධාරීන් සහ පශුවෛද්‍යවරුන් ප්‍රකාශ කලේ. ඒ වන තෙක් සොබා දහම් මාතාව විසින් මේ කුරිරු ඝාතනය දැක නැති අතර ඇය ඒ ගැන දැනගෙන තිබෙන්නේද මේ පිළිබඳව මාධ්‍යයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

 

සොබා දහම් මාතාව මේ ගැන දැනගැනීමෙන් පසු බොහෝ සෙයින් කම්පා වීම නිසා තද සුළං ධාරා සහ වර්ෂාවක් පතිත කරවීම මඟින් ඇගේ දුක ප්‍රකාශ කර ඇති අතර ඒ සොබාදහම් මාතාවගේ සුසුම් සහ කඳුළු යැයි අපගේ Facebook වාසි කාලගුණ අනාවැකි කරුවන් පවසනවා.

 

ඊට අමතරව දරුණු සුනාමි තත්වයක්ද සොබා දහම් මාතාව විසින් එවන්නට සියලුම කටයුතු සූදානම් කර තිබියදී මේ ඝාතනය ගැන මිනිසුන් කම්පා වන ආකාරය සහ තද සුළං සහ වැසි නිසා සිදුවී තිබෙන විපත් දැක, සොබා දහම් මාතාව එම සුනාමි තත්වය කැන්සල් කර තිබෙනවා. ඇයගෙන් මේ පිළිබඳ අදහස් විමසූ විට ඇය පවසා සිටියේ ගහෙන් වැටුණු මිනිහාට ගොනාත් ඇනීම එතරම් සුදුසු නැති බැවින් තමන් එම සුනාමි තත්වය අවලංගු කර දැමූ බවයි.

 

එමෙන්ම පසුගිය යුධ සමයේ සිදුවූ සමූල ඝාතන සහ විනාශයන් වලදී තමන්ගේ ඇසට කඳුලක්වත් නාවේ කිසිවෙකු ජයග්‍රණය නොකළ යුද්ධයෙන් ජයග්‍රහණය ආරෝපණය කරගත් දේශපාලුවන් සහ Facebook දේශප්‍රේමීන්ගේ සතුටට තමාද රැවටුණු නිසා බව සොබාදහම් මාතාව පවසා සිටියා. සේයාගේ, විද්‍යාගේ ඝාතනය, කොටකෙතන ඝාතන සහ මෙකී නොකී සියලුම මිනිස් ඝාතන වලදී ඇයට හඬන්නට පවා වෙලාවක් නොලැබුණේ Facebook කාරයන් සමඟ කැරම් ගසන්නට ඒ මළගෙවල් වල ගිය නිසා බවයි ඇය වැඩි දුරටත් පවසා සිටියේ.

 

අවසානයේ ඇගෙන් අදහස් විමසූ මට වැටහී ගියේ,
ඇයට හඬන්නට නම් මාධ්‍යයෙන් හෝ Facebook කරුවන් විසින් ඇයගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අදාළ ව්‍යසනය පෙන්වා දිය යුතුම බවය.


රවිඳු ප්‍රනාන්දු

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (59%)
  • සතුටුයි (2%)
  • හිනා යනවා (15%)
  • දුකයි (17%)
  • තරහයි (7%)