රිදී විහාරයේ බුදු ගේ ඇතුලේ ක්‍රිස්තුන් වහන්සේ

විචිත්‍ර
රිදී විහාරයේ බුදු ගේ ඇතුලේ ක්‍රිස්තුන් වහන්සේ

සාමාන්‍යයෙන් බෞද්ධ විහාරයක දකින්නට නොලැබෙන දෙයක් කුරුණෑගල රිදී විහාරයේ දකින්න පුළුවන්. ඒ තමයි කතෝලික දහම ලෝකයට විවර කරපු ජේසු තුමන්ගේ රූප සමූහයක්, මහා විහාරයේ ඔත් පිළිම වහන්සේ ඉදිරියේ තියෙන මල් ආසනයේ දකින්න ලැබීම. මේ මල් ආසනය උඩ පිඟන් ගඩොල් (Tile – ටයිල්) කැට 100ක් විතර ඔබ්බවලා තියෙනවා. ඒ අතර සමහර පිඟන් ගඩොල් කැටවල ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ සමහර සිදුවීම් චිත්‍රණය කරලා තියෙනවා.

 

 

මේ අතර එක ගඩොල් කැටයක තියෙනවා කුඩා බිළිඳෙකුගේ රූපයක්, දෙන්නෙක් ඒ බිළිඳා ඔසවාගෙන ඉන්නවා. මේ රූපයෙන් පිළිඹිමු වෙන්නේ ජේසු බිළිඳා බවයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කියන්නේ. තවත් ගඩොලක දකින්නට තියෙන දෙදෙනෙකු ඉදිරියේ අහසට නැඟලා සිටින අවස්තාව දැක්වෙන රූපය ජේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය බවත් පැහැදිලියි.

 

දැන් තියෙන ප්‍රශ්නය තමයි ජේසු තුමාගේ රූපය කොහොමද බුදු ගෙයක දකින්න ලැබුනේ කියන එක….
මේ පිඟන් ගඩොල් කැට රිදී විහාරයට ලැබිලා තියෙන්නේ ඕලන්ද ආණ්ඩු කාරයෙකුගෙන් ලු. මේ ආණ්ඩුකාරවරයා පිරිණමපු තෑග්ගක් නිසා ඒ කාලයේ රිදී විහාරයේ වැඩසිටි හාමුදුරුවනුත් මේවා භාරගන්නට ඇති. කොහොම වුනත් මේ ගඩොල් කැට සවි කරලා තියෙන විදියෙන් පෙනෙන්නේ ඒ ගැන කිසිඳු වැටහීමක් වඩුවන්ටත් තිබිලා නැහැ කියන එකයි.

 

රිදී විහාරය පිහිටි පළාත අයිති වුණේ උඩරට රාජධානියට වුණත් උඩරට ඕලන්ද ආණ්ඩුවත් අතර යම් සම්බන්ධකම් තිබුනා. බුද්ධ ශාසනය හොඳටම පිරිහිලා තිබුණු කාලෙදී සියම් රටෙන් උපසම්පදාව මේ රටට ගෙන්වා ගැනීමට සිංහල දූතයන් යැවීමට නැව් පවා සපයලා දුන්නේ ඕලන්ද ආණ්ඩුව විසින්. ඒ හින්දා ඕලන්ද ආණ්ඩුකාරවරයා රිදී විහාරයේ හාමුදුරුවන් ගැන පැහැදීමෙන් මේ ගඩොල් කැට තෑගි දෙන්නට ඇති.


විශේෂ ස්තූතිය – සාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික, රිදී විහාර භාරකාර පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත ස්වාමින්වහන්සේට

ඡායාරූප – ධම්මික සමරකෝන්


කුලසේකර රෆායල් නිශාඩ්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (68%)
  • සතුටුයි (20%)
  • හිනා යනවා (4%)
  • දුකයි (4%)
  • තරහයි (4%)