හෙලුවෙන් කරන වීඩියෝ ගැන අමු හෙලුවෙන් කතා කරමු

ආරංචි
හෙලුවෙන් කරන වීඩියෝ ගැන අමු හෙලුවෙන් කතා කරමු

කතාව මෙතනින් පටන් ගමු. හෙළ ගී කේත අස්වැද්දූ වගේ සාහිත්‍යය රස වචන ඕනෙම නෑ. ඖචිතය විනිර්මුක්ත කරලා සන්ධර්භය සුඛනම්‍ය කරනවා වගේ ගළපගන්න අමාරු බර සිංහල ඕනෙම නෑ…. අමු හෙළුවෙන් කරන මේ වීඩියෝ එක ගැන අමු අමුවෙන් කතා කරමු.

චමූ ශ්‍රී – වැඩේ චී

 

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ කියන එක ආයෙමත් සන්දීප්ට මතක් කරන ගමන් අපි ඔශාන්ව සම්බන්ධ කරගත්තා.

ඔෂාන් කියන්නේ මේ වීඩියෝ එකේ රඟපාන නිරූපන ශිල්පියා.

ඔෂාන් කොහොමද ලැබෙන ප්‍රතිචාර ?
(සිනාසෙයි) මම රඟපානවා හොඳයි කියලා නම් ගොඩක් අය කිව්වා. ඒත් ඉතින් නේද? (නැවත සිනාසෙයි)

ඔය හිනාවෙ නිකං වැරදිකාර හැඟීමක් තියෙනවා වගේ දැනෙනවා?
ඔව්. අයියේ මට රවීන්ද්‍ර විජේරත්න සර්රුත් කතා කරලා දැන් හොඳටම බැන්ණා. පිටපතක් කියවන්නේ නැතුව ඔහොම භාරගන්න එපා කියලා.

ඒ කියන්නේ නොදැන කරපු වැඩක් ද මේ?
නොදැනම කියන්නත් බෑ ඉතින්. චමූ ශ්‍රී මට කිව්වා මේ කරන්නේ දසුන්ගේ කතාව තමයි කියලා. ඒත් මේ තරම් එහෙම වෙයි කියලා හිතුනේ නෑ. මොනවා වුනත් ආයෙමත් මම මේ වගේ වීඩියෝවල ඉන්නේ නෑ.

ඒ කියන්නේ වරදකාරී හැඟීමක් ඔශාන්ට ඉතුරු වෙලා නේද?
ඔව්. එහෙම පොඩි අවුලක් තියෙනවා.

 


අපි ඊළඟට කතා කරේ මාෂි හෙවගේට. ඇය තමයි මේ වීඩියෝ එකේ රංගනයේ යෙදෙන නිරූපිකාව.

මාෂි මේ දවස්වල ප්‍රසිද්ධයි නේද?
මෙහෙමයි ඉතින්. මීට කලින් මිලින්ද සඳරුවන්ගේ “ආශිර්වාදය” වීඩියෝ එකත් හොඳට හිට් වුනා. මතකද අර ගොඩක් වයසක කෙනෙක් එක්ක. (එතැනින් එහාට මොකුත් නොකියා ඇය සිනාසෙයි.)

ඔයා මේ නිරූපණය කරන්නේ දසුන්ගේ කතාවේ….?
ඔව්, ඔව්, ශලනිගේ රෝල් එක කරන්නේ මම. ඇත්තම කිව්වොත් මම දැනගෙන හිටියේ නෑ. මේ කරන්නේ දසුන්ගේ ස්ටොරිය කියලා. මට වැඩේ ක්ලික් වුනේ අර ෆෑන් එකේ සීන් එකෙන් තමයි

මොන සීන් එකෙන් පස්සේ හරි මේ කරන්නේ දසුන්ගේ කතාව කියලා දැනගත්තනේ. එතකොට මාෂි රඟපාන කැරැක්ටර් එක ශලනිගෙ නේද?
මට තේරෙනවා. ශලනිට මේක හොඳ නෑ. වීඩියෝ එක නරකම පැත්තට යනවා. ශලනි එහෙම නරක කෙනෙක් නොවෙන්න පුළුවන්.

අයිස්ක්‍රීම් කන්නේ?
ඉන්න මම ඒකත් කියන්නං. මට අයිස්ක්‍රීම් එකක් ගෙනත් දීලා කිව්වා කන්න කියලා. ඊළඟට එතන ප්‍රඩක්ෂන් එකේ වැඩ කරන කෙනෙක් ඇවිල්ලා ඒක මූනේ ඇතිල්ලුවා. චමූ ශ්‍රී ඊට පස්සේ කිව්වා හරි දැන් කන්න, ගෑවිලා තියෙන ඒවා දිවෙන් ගන්න කියලා. මම ඒක තමයි කරේ.

 


ආසන්නම පිපිරීම චමූ ශ්‍රීගේ “සිරවී” කියන වීඩියෝ එක. අපි ඒක වීඩියෝ එකක් විදිහට හඳුන්වන්නේ ඒක ඇතුලේ ගීතයක් නම් ඇහුනේ නැති නිසාමයි. ගීතයක් ඇහුණේ නැතත් තරුණයෙක් ඒ කාලය තුළ මොකක් හෝ කියන්න උත්සහ කරනවා.
ඔහු නමින් සන්දීප් ජයලත්.

කොහොමද සිංදුවට ප්‍රතිචාර?
ට්‍රෙන්ඩින් ඇවිල්ලා තියෙනවා නේද දැන් දවස් දෙකක් විතර ඉඳන්.

මීට කලින් මොනවද ප්‍රසිද්ධ වුණ වීඩියෝ කියන්නේ?
අර මතකද ටීනා ලොකුවටම ජනප්‍රිය වුණ වීඩියෝ එක. ලිප් කිස් එකක් එහෙම තියෙන්නේ දරුණුවට. මතකද දන්නේ නෑ.

මේ වීඩියෝ එක මෙහෙම කරමු කියන අදහසත් ඔයාගෙමද?
අනේ නෑ. ඇත්තටම ඒක කතා කරන්නම ඕනේ. කලින් වීඩියෝ එකත් සැර වැඩි නිසා මට නං ඕන වුනේ ඊට වඩා අඩු එකක් කරන්න. ඒත් චමූ අයියා තමයි මේක කරන්න ඕන කිව්වේ.

අවසානයේ සන්දීප් කැමති වුණා?
ඇත්තටම මේ වීඩියෝ එක කරේ යූ ටියුබ් ෂෙයාර් එකට. මට ලොකු බලපෑමක් කරන්න බෑ. රයිට්ස් තියෙන්නේ චමූ ශ්‍රීට.

ඒත් සන්දීප්ට මේ හරහා හානියක් වෙනවනේ?
ඔව්. ඒක තමයි. කවුරු සිංදුව කරත් පෙන්නේ මාව. මට බැණුම් අහන්න වෙනවා තමයි. යම් බලපෑමක් ඇවිල්ලා තියෙනවා. හරි නෑ කියන එකට මමත් එකඟ වෙනවා. අවංකවම මම මුලින්ම දකින කොටත් පොඩි ගිල්ටියක් ආවා.

 


මේ කතාබහේ වැඩියෙන්ම කියවුණේ අපි ඊළඟට කතා කරන පුද්ගලයා පිළිබඳව. ඔහු නමින් චමූ ශ්‍රී. ගුණාත්මක පැත්ත බල්ලට ගියත් ප්‍රමාණාත්මකව ඔහු මේ වෙනකොට මියුසික් වීඩියෝ 250ක් පමණ කරලා තියෙනවලු.


චමූ ශ්‍රී මේ ඔබ රූපගත කරලා තියෙන්නේ ඔබේ පරම්පරාවෙම කලාකරුවෙක්ගේ ජීවිතය ගැන නේද?
නෑ. නෑ. මම කරේ මේ සමාජයේ සිදුවෙන සිදුවීම් එකතු කරලා කරපු කතාවක්. කෙනෙකුට ඕන නං මේක දසුන්ගේ කතාව විදිහට ගන්න පුළුවන්.

හරි ඔබ කිව්වනේ කෙනෙකුට ඕන් නං මේක දසුන්ගේ කතාව විදියට ගන්න පුළුවන්. අපි එහෙම හිතාගෙන ප්‍රශ්න ටිකක් අහන්නං.
(සිනාසෙමින්) හා. හා. අහන්න.

සිරස කුමරිය නෙමෙයිද ඔබ සිසිර කුමරිය කරේ? ශලනිගේ උපන් ලපය නේද මාශිටත් තිබ්බේ?
නෑ. නෑ. මට ඒ වෙලාවේ නිකමට හිතුණ නිසා කරා. නැතුව ශාලනිව පෙන්නන්න කරා නෙවෙයි.

ගායකයා හා රංගන ශිල්පීන් පිළිගන්නවා මේ දසුන්ගේ කතාව කියලා.
ඒ වුනාට මම කරේ ඒක නෙමෙයි. ලංකාවේ ගොඩක් පැජෙන්ඩ් තියෙනවා. බීච් පාටි තියෙනවා. රඟපාන අය අතර සම්බන්ධතා ඇතිවෙනවා. මේ හැමදේම අවසානයේ අම්මට දරුවෙක් නැති වෙනවා.

රංගන ශිල්පියා (ඔෂාන්) කියනවා ඔබ ඔහුට කිව්වලු මේ කරන්නේ දසුන්ගේ කතාව කියලා?
ආ…. එයා එහෙම කිව්වා. (සිනාසෙයි)

හරි ඔබ දසුන්ගේ කතාව නෙමෙයි රූපගත කරේ කියමුකෝ. නමුත් එඩිට් වෙලා ආවමවත් වටේ පිටේ මිනිස්සු කියන කරන දේවල් වලින්වත් හිතුනේ නැද්ද මම මේ කරලා තියෙන්නේ දසුන්ගේ කතාව කියලා?
නෑනේ. මට ඕන වුනේ සමාජයට පණිවිඩයක් දෙන්න. මෙහෙම වුණාම අම්මාට පුතෙක් නැතිවෙන එක විතරයි වෙන්නේ කියලා.

ඔබ විශ්වාස කරනවද මේ වීඩියෝ එක බලලා සමාජයේ එක්කෙනෙක් හරි හැදේවි කියලා?
අපෝ නෑ. ලංකාවේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා.

හේමාල්, දිනක්ෂි එහෙම බැණලා තිබුණ නේද මේ වීඩියෝ එකට?
පර්සනලි මට කෝල් නොකර FB එකේ වීරයෝ වෙලා මොකටද? ඒක ඒ අයගේ මතයනේ.

අපි කිව්වේ මේ වීඩියෝ එකට බණින අයනේ. මේක හොඳයි කියන අයත් ඉන්නවා?
අපෝ ඕන තරං ඉන්නවා.

නමක් දෙකක් කියමුකෝ බලන්න?
එහෙම හරි නෑනේ නේද?

නෑ, හරි නැත්තේ බණින අයගේ නම් කියන එකනේ. අපි අහන්නේ හොඳ කියන අය?
සමහරවිට ඒ අය තියෙන හිතවත්කම් නිසා මට call කරලා පර්සනලිම හොඳ කිව්වද දන්නේ නෑනේ නේද?

නිර්මාණයකදී රංග භාණ්ඩ භාවිතා කරන්න හේතුවක් තියෙන්න ඕන. අර අයිස්ක්‍රීම් එක භාවිතා කළ හේතුව මොකක්ද?
අනේ එහෙම හේතුවක් නෑ. මට ඒ වෙලාවේ හිතුනා නිකන් ගත්තේ.

එතකොට අර අයිස්ක්‍රීම් එක කන විදිහ?
ආ…. ඒක මෙහෙමයි. අපි අයිස්ක්‍රීම් ගෙනල්ලා ෆ්‍රිජ් එකේ දැම්මාම නිකම්ම දියවෙනවා. එහෙම දියවුණ අයිස් ක්‍රීම් එකක්. (සිනාසෙයි)

චමූ ශ්‍රී දැක්ක ද ඉරාජ් කලින් කරා වික්ටර් රත්නායක මහත්තයගේ ජීවිතේ ගැන එකක්?
මෙහෙමයි ඒකත් ඕන නං ඕනෙම කෙනෙක්ට වික්ටර් රත්නායක මහත්මයගෙ කියලා කියන්නත් පුළුවන් එහෙම නෙවෙයි කියලා කියන්නත් පුළුවන්.

චමූ ශ්‍රී කියන්නේ එහෙම නෙවෙයි කියලා නේද?
ඔව් ඔව්.

 


සාකඡ්චාව – සුපුන් රත්නායක
උපුටා ගැනීම – ඇපල්වත්ත අතිරේකය (ඉරිදා ඇපල් පුවත්පත)

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (65%)
  • සතුටුයි (25%)
  • හිනා යනවා (5%)
  • දුකයි (0%)
  • තරහයි (5%)