මුහුණ විකෘති කර මරා දැමූ පෙම්වතිය අබියසදී

කවි පිටුව
මුහුණ විකෘති කර මරා දැමූ පෙම්වතිය අබියසදී

නිමිත්ත –
මුහුණ විකෘත්ති කර මරා දැමූ කාන්තා මළ සිරුරක් හඳුනා ගැනීමට වෙහෙසෙන ඇගේ පෙම්වතා අමතා කඳුළු පිරි නෙතින් පැරණි පෙම්වතා විසින් මෙසේ කියන ලදී.


 

දෙවසරක් මා සමඟ දඟ කළ
සිනහවෙන් මගෙ ලොවම හැඩ කළ
මැයයි මගෙ ඒ සුදු සිඟිති මල
සුවඳ මතකයි අදත් ඈ මළ

 

අනේ මහතුනි මේ අසාපන්
මදක් නුඹලා නෙත් වසාපන්
පනේ ඇවිදින් මා බදාපන්
නුඹ නොමළ බව මෙහි කියාපන්

 

සුරත රැඳුනත් මගෙ අත්ල මත
දනිමි සසලයි ඇගෙ නොදැමි සිත
පෙම්වතිය ලෙස ඔබ දුටුව වත
ගැහැණියකි එය ඔබ නොදනු ඇත

 

විකෘත්තිව ගිය වම් කොපුල මත
කැපුම් පහරකි ඔබත් දැක ඇත
දිමුතු කැට වන් ඇගෙ නීල නෙත
තිබූ අයු‍රෙන් අද එතන නැත

 

නග්න රුව නෑ එදා වාගේ
තැලී සීරී ගතම ඈගේ
අදින් අවසන් නුඹේ රාගේ
අනේ ගෙන පන වරෙන් මාගේ

 

ලොවෙන් සැඟවී හොරෙන් රහසේ
බැඳුනි වරදෙහි සෙමින් පහසේ
නග්න වත මත දෙනෙත් දහසේ
සළු උනා පා වුනා අහසේ

 

ගෙලෙන් වෑහෙන රුහිරු ගංගා
තෙමයි තිසරුන් මැදින් රිංගා
තැබූවත් ඈ ලොවෙන් හංගා
නොරහසකි අද මගේ නංගා

 

නිසි වැඩී ඉරි තැලුනු පියයුරු
ඉන් එකකි පොඩි නුඹ නැතිද හුරු
රෝමයකි වම් පුඩුව මත දැරු
බලාපන් සකි එහි තිබෙන යුරු

 

යොමන් නුඹ නෙත් ළැමෙන් මත්තේ
වසන් කළ සළු රූ සිඟිත්තේ
බලන් නුඹ නාබියට පැත්තේ
කුඩා ලපයකි තිබෙනු ඇත්තේ

 

සයන මත හිරි ඔතප් නෑරී
අනඟ රැඟුමෙන් දෙසිත පෑරී
සුරත රැඳි රන් හුයෙන් සීරී
නිතඹ අද්දර බලන් හෑරී

 

පපුව පැලෙනා තරම් මේ ඉකි
ලොවට කියනා තවත් රහසකි
බලන් රහසඟ අද්දරව සකි
කළව මත ඇති තවත් ලපයකි

 

මා හැර ගියත් නෑ තරහක් සිත් මානේ
නුඹ යලි එතැයි පැතුවෙමි දවසක් ගානේ
අතිනත ගොසින් නුඹ සෙවු ඒ මධු පානේ
ලැබුනත් නැතත් කාටත් සතුටක් නෑනේ

 

සසර දුරයි බෝමත් තව මගෙ නංගී
සදා වැරදි අපි එහි මරුගෙන් රිංගී
මෙතේ බුදුන් දැක එහි නිවනෙන් නැංගී
මමත් එනවා එතකල් ඉඳපන් හැංගී


ඉඳුනිල් රත්නායක

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (30%)
  • සතුටුයි (5%)
  • හිනා යනවා (10%)
  • දුකයි (50%)
  • තරහයි (5%)