ප්‍රේමය ම ආත්මය කොට ගත් ඇය හෙවත් මගේ අම්මා

කවි පිටුව
ප්‍රේමය ම ආත්මය කොට ගත් ඇය හෙවත් මගේ අම්මා

එදවස,
සීතලම සීතල දෙසැම්බරයේ
දර සොයාගන්නත් අපහසු කාලයක
විදුලිය නොතිබූ කුස්සියේ ලිප මත
වතුර මුට්ටියක් තබා උණු කොට
මාරුවෙන් මාරුවට,
අයියාත්,තාත්තාත්,මාත්
උණු දියෙන් නහවා
ඊට පසු
හීත ජලයෙන් ගත දොවා
ගැහි ගැහි ගෙට ආ
ප්‍රජාපතියයි ඇය….

 

අලුත් අවුරුදු සමයේ
ඇඳුම් ගන්නට සාප්පු ගානේ යන කල
අපට ගැලපෙන ඇඳුම් පමණක්
තෝර තෝරා මිලදී ගන්නා
කොයි තරම් ඇවිටිලි කලත්
තමන්ට කියා එකදු ඇඳුමක් නොගන්නා
සිරි කතම වෙයි ඇය….

 

මා 10 වසරේ උගනිමින් ඉන්නා විට
තාත්තා ද අසනීපව උන් කාලයක
හැම සිකුරාදාවකම මාව කැඳවා යන්නට
ගව් ගණන් දුර ගෙවා නේවාසිකාගාරයට පැමිණ
ඉන් පසු ද
ඉරිදා දින මට ඉංග්‍රීසි ටියුෂන් කරා යන්නට ඇති නිසා
පාන්දර 4.30 බස් එකේ මාත් සමඟම පැමිණ
පැය හතරක්
පන්තිය නිම වන තෙක් හිස් ශාලාවක අසුන් ගෙන ඉඳ
නේවාසිකාගාරයට නැවත ඇරලා
පිටව ගිය,
ඉංග්‍රීසි නොදන්නා
සරස්වතී දේවියයි ඇය….

 

කොයි තරම් පාන්දරින් අපට
ගෙදරින් පිට වන්නට නියමිතව තිබුනද
ඊට පෙර කීයට හෝ අවදිව
ලිප ගිනි මොලවා
එක බත් කටක් හෝ බඩට නොවැටී
පිටතට යන්නට නොදුන්
සීවලී රුවම වෙයි ඇය….

 

ප්‍රේමය බිඳී
සිතින් මෙන් ගතින් ද ආතුර ව
ගෙවා දැමූ කාලයේ
එක් රාත්‍රියක
උණ විකාරයෙන් දොඩවද්දී
තුරුළු කරගෙන
“ඔයාට කවුරු නැතත් තාත්තයි මමයි ඉන්නවා පුතේ”
කියමින් රෑ පුරා පිරිත් මිමිණු
මුර දේවතාවිය ඇය….

 

මගේ අකීකරු වදන් වලින්
සිත තැලී රිදුම් දෙද්දී
කාටවත් නොපෙනෙන්නට කඳුළු සලා
ඉන් විනාඩි ගණනකට පසුව
පෙර මෙන්ම සිනාසී
“එන්න පුතේ බත් කවන්න”
යැයි පවසා මා ලඟින් වාඩි වන,
මතු මතුත් මගේ අම්මා වන්නට යැයි
මා පතන,
ප්‍රේමයම ආත්මය කොට ගත්
ප්‍රේමවතියයි ඇය….


උපුටා ගැනීමකි

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (60%)
  • සතුටුයි (40%)
  • හිනා යනවා (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)