ශ්‍රී පාදය බුදුන්ගෙවත් ආදම්ගෙවත් නෙමෙයි

ආරංචි
ශ්‍රී පාදය බුදුන්ගෙවත් ආදම්ගෙවත් නෙමෙයි

ශ්‍රී පාදය පහු ගිය කාලේ ඉංග්‍රීසියෙන් නම් කලේ ඇඩම්ස් පීක් (Adam’s peak) කියලා කොහොම හරි අපේ අය මාර ගේමක් ගහලා ගූගල් මැප් එකෙත් ඇඩම්ස් පීක් එක ශ්‍රී පාදය කියලා වෙනස් කරගත්තා. කොහොමත් අපේ උදවිය ඔන්ලයින් ගේම් ගහන්න හරි හපන්නුනේ….

 

ශ්‍රී පාදය ඇඩම්ස් ස්පීක් කියලා හැදින්වුවාට අපි දන්නා විදියට නම් කිසිම කතෝලිකයෙක් හෝ ක්‍රිස්තියානි කාරයෙක් ශ්‍රී පාදස්ථානයට අයිතිවාසිකම් කියන්න ගිහිල්ලා නැහැ වගේම එතැන තියෙන්නේ ආදම්ගේ පාදය කියලා, ඒ අදහසින් වඳින්න පුදන්න ගිහිල්ලත් නැහැ. මොකද ආදම් කියන්නේ වන්දනා මාන කල යුතු කෙනෙකු හෝ දෙයක් නෙමෙයි.

 

කෙටියෙන්ම කිව්වොත් ආදම් කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. ආදම් කියන වචනයේ තේරුම ආරම්භය කියන එක. ආදම් කියන චරිතය තියෙන්නේ බයිබලයේ උත්පත්ති කතාව කියන කොටසේ. බයිබලය කියන්නේ සංඛේතාත්මක භාෂාවකින් ලියපු පොතක්. එතකොට මේ ආදම් කියන්නෙත් එක්තරා සංඛේතයක් විතරයි. අනික උත්පත්ති කතාව ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී විතර. එතකොට මේ මැවීමේ කතාව අඩංගු උත්පත්ති කතාවේ තියෙන අනෙක් සිදුවීම් බොහොමයක් ඊට පෙර ඉතිහාසයේ සිදුවූ සමහර සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වුනු ප්‍රබන්ධ කතාවක්. ඔන්න ඕක තමයි ඇත්ත….

 

කතෝලිකයන් හෝ ක්‍රිස්තියානි භක්තිකයින් ශ්‍රී පාදයට අයිතිවාසිකම් නොකිව්වත් සමහරක් ජාතීන් ශ්‍රී පාදය අයිති කරගන්න එක එක කුමන්ත්‍රණ කරනවා කියන එකත් රහසක් නෙමෙයි.

 

එක පැත්තකින් මේ ශ්‍රී පාදයට ඇඩම්ස් පීක් කියලා කිව්වට වැරද්දක් නැහැ, මොකද ශ්‍රී පාදය කියන්නේ ජල පෝෂක ප්‍රදේශයක්, ජෛව විවිධත්වයෙන් ඉහලින්ම තියෙන වනාන්තරයක්. එතකොට බොහෝ දේවල් වල ආරම්භය මේ පරිසර පද්ධතිය තුල සිද්ද වෙනවා. ශ්‍රී පාද වනාන්තරය විනාශ වුනොත් සමහර විට අපේ රටට විශාල හානියක් වෙන්නත් පුළුවන්. ඒ එතන තියෙන්නේ බුදුන්ගේ හෝ ආදම්ගේ පාදයක් කියන කාරනාව නිසා නෙමෙයි, ඒ පරිසර පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ පාරිසරික සමබරතාවයට විශාල දායකත්වයක් දෙන නිසා….

 

ඇත්තටම අපි කියන්නේ ශ්‍රී පාදය කාගේවත් ආගමකට අයිති කරගන්න ඕන දෙයක්වත්, කාගේවත් ආගමකට උරුමයක් කියලා ලේබල් ගහ ගන්න ඕන දෙයක්වත් නෙමෙයි. මොකද එහෙම ලේබල් ගහගත්තු අය ගිහිං දාපු කුණු හින්දා ගොඩ ගැහුණු, ශ්‍රී පාදයේ කුණු කන්දක් නාය ගියා කියලත් දන්නවා ඇතිනේ….

 

හරියට බැලුවොත් අහවල් ආගමට ශ්‍රී පාදය අයිතියි කියන්න කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. ශ්‍රී පාදය රැකගන්න ඕනේ ආගමික ස්ථානයක් විදියට නෙමෙයි. මේ රටේ වටිනා පරිසර පද්ධතියක් විදියටයි…. මොකද ආගමීකරණය වීම තමයි විනාශ වීමට මුල….


කුලසේකර රෆායල් නිශාඩ්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (13%)
  • සතුටුයි (20%)
  • හිනා යනවා (20%)
  • දුකයි (20%)
  • තරහයි (27%)