ලොවම ගිලගන්නා නිහඬ මාරයා ඔයාගේ ගෙදරටත් එයි

වෙද - හෙද
ලොවම ගිලගන්නා නිහඬ මාරයා ඔයාගේ ගෙදරටත් එයි

නොවැම්බර් 14 කියන්නේ ලෝක දියවැඩියා දිනය. අද වෙනකොට ලෝකය පුරා පැතිරිලා තියෙන බෝ නොවෙන රෝග අතරින් ප්‍රධාන පෙලේ ඉන්න රෝගයක් තමා මේ දියවැඩියාව.

 

දියවැඩියාව කියන්නේ සද්ද බද්ද නැතුව බොහොම නිහඩව වර්ධනය වෙන රෝගයක්. හුඟක් වෙලාවට මුල් අවධියේ මේ රෝගය කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඒ හින්දම බොහෝ අය දන්නේ නැහැ තමන්ට දියවැඩියාව කියන රෝගය වැළඳිලා තියෙනවා කියලා.

 

 

අපේ රටේ හැම පුද්ගලයෝ දහ දෙනෙකුගෙන් එක අයෙකුට අනිවාරෙන්ම දියවැඩියාව රෝගය තියෙනවා. ඒ වගේම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පූර්ව දියවැඩියා තත්වයෙන් පෙළෙනවා කියලත් සොයාගෙන තියෙනවා.

 

දියවැඩියාව කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ අපේ ඇඟේ ලේ වල ග්ලූකෝස් සාන්ද්‍රණය ඉහල අගයක පැවතීම නිසා ඇතිවෙන රෝගයක්. නිරෝගී පුද්ගලයෙකුගේ ලේ වල අඩංගු ග්ලූකෝස් මට්ටම පාලනය කරන්නේ ඉන්සියුලින් කියන හෝමෝනයෙන්. මේ හෝමෝනයෙන් ලේ වල තියෙන ග්ලූකෝස් අක්මාව, පේශී සහ මේද පටක වලට ඇතුළු වෙන්න සහයෝගය දෙනවා. ඒ ක්‍රියාවලියට අමතරව ග්ලූකෝස් ග්ලයිකොජන් සහ මේදය බවට පත් කරන්නෙත් මේ හෝමෝනයෙන්ම තමයි.

 

සමහර පුද්ගලයන්ගේ නොයෙකුත් හේතු නිසා ඉන්සියුලින් හෝමෝනය නිවැරදිව අග්න්‍යාශයෙන් ශ්‍රාවය වෙන්නේ නැහැ. සමහර අයගේ ඉන්සියුලින් හරි විදියට ශ්‍රාවය වුනත් ඉන්සියුලින් හෝමෝනයට ඇතිවන ප්‍රතිවිරුද්ධ තත්ත්ව නිසා මේ හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට භාදාවක් ඇතිවෙන අවස්ථා තියෙනවා. එතකොට රුධිරයේ ග්ලූකෝස් මට්ටම දීර්ඝ කාලයක් ඉහලව පවතුනාම දියවැඩියාව වැළඳෙනවා.

 

දියවැඩියාව නිසා අපේ සිරුරේ තියෙන රුධිර නාලිකා වලට දැඩි බලපෑමක් ඇතිවෙනවා. ඒ නිසා විශාල වශයෙන් බලපෑම් ඇතිවුනාම හෘදයාබාධ, ආඝාතය වගේ රෝග තත්ත්ව ඇතිවෙනවා. කුඩා රුධිර නාලිකාවලට ඇතිවෙන බලපෑම නිසා ස්නායු ඇස් සහ වකුගඩු තුල විවිධ සංකූලතා ඇතිවෙන්න ඉඩකඩ වැඩියි.

 

ගිය අවුරුද්ද වෙනකොට ලෝකය පුරා මිලියන 400කට වැඩි සංඛ්‍යාවකට දියවැඩියාව රෝගය හැදිලා තියෙනවා. මේ යන විදියට ගියොත් 2040 අවුරුද්ද වෙනකොට ලෝකය පුරා දියවදියා රෝගීන් මිලියන 600ටත් වඩා වැඩි වෙන්න පුළුවන් කියලයි අනුමාන කරන්නේ. අදාළ දක්ත අනුව දියවැඩියා රෝගීන් වැඩිපුරම ඉන්න රටවල් විදියට චීනය, ඉන්දියාව, ඇමරිකාව, රුසියාව, මෙක්සිකෝව, ඉන්දුනීසියාව ඉජීප්තුව, ජපානය සහ බංගලාදේශය නම් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව අයත් වෙන දකුණු නැගෙනහිර ආසියාතික කලාපය දියවදියා රෝගීන් වැඩිම පිරිසක් ඇති කලාප අතරේ දැනට දෙවෙනි ස්ථානයේ ඉන්නවා. ඇත්තටම ඒක ලොකු ගැටළුවක්….


කුලසේකර රෆායල් නිශාඩ්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (0%)
  • සතුටුයි (60%)
  • හිනා යනවා (0%)
  • දුකයි (40%)
  • තරහයි (0%)