මේ වීරයාගේ මාසයයි….

මේ වීරයාගේ මාසයයි....

සාමාන්‍ය කතෝලික සම්ප්‍රදාය අනුව නොවැම්බරය හැදින්වෙන්නේ මළවුන්ගේ මාසය ලෙසය. නොවැම්බර් පළමුවනදා සියළු සාන්තුවරුන් උදෙසා කැපකර ඇති අතර නොවැම්බර් දෙවෙනිදා කතෝලිකයන් තම මළගිය ඥාතීන් උදෙසා යදින්නට සුසානභූමියට එකතු වෙයි.

 

නමුත් දැනුම් තේරුම් ඇති වයසේ සිට නොවැම්බරය මට කිසිදිනෙක මළවුන්ගේ මාසය නොවීය. ජීවිතයේදීද මරණයේදීද මිනිසුන්ට ආදරය කළහැකි බව සහ මිනිසුන් වෙනුවෙන් කැප විය හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූ වීරයකුගේ නික්ම යාමේ මාසය ලෙස නොවැම්බරය මගේ කැලැන්ඩරයේ ලකුණු වී ඇත. ඉතින් නොවැම්බරය යනු වීරයාගේ මාසයයි!

 

නිර්මල මරිය නිකායික පියතුමකු වූ මේ අපූරු මිනිසා නමින් මයිකල් රොද්‍රිගූ විය. ප්‍රංශයේ Institut Catholique විශ්වවිද්‍යාලයෙන් ඔහු වෙත පිරිනැමූ මහාචාර්යධූරය ප්‍රතික්ශේප කොට සුබසෙත නිවස නම් වූ කුඩා පැල තමන්ගේ නිවහන කරගනිමින් දුක්විදින මිනිසුන් උදෙසා යදින්නට පමණක් නොව ඒ මිනිසුන් සමඟම එකතු වන්නට ඔහු දෙවරක් නොසිතුවේය.

 

වඩුවෙකුගේ පුතෙකු මත ගොඩනැගුණු කතෝලික සභාව ලොව ධනවතුන්ගේ සභාව වූයේ යම්සේද, එලෙසම අතහැරිය යා නොහැකි ලෙස සභාව හා ධනය අතර ගොඩනැගුණු සබඳතාව මැටිපැලක විසූ විමුක්ති දේවධර්මය හැදෑරු බතික් සරම හැඳි පියතුමාව නොරිස්සූ බව අදටද ප්‍රසිද්ධ රහසකි. ඉතින් එවන් වූ පසුබිමක සිට ගොවීන් හා කම්කරුවන් සමඟ සටන් වලට එකතු වූ, ගොවීන් උදෙසා පෙත්සම් ලියූ, කම්කරුවන් උදෙසා පාලක පන්තිය හා ගැටුණු මයිකල් පියතුමන්ව දේශපාලනික හස්ත විසින් ඝාතනය කොට හෙටට තිස්වසරකි!

 

වසර තිහකට පෙර හෙට වැනි දිනෙක තම කුඩා සංඝය හා එක්ව දිව්‍ය පූජාව ඔප්පු කරමින් සිටින අතර තුර එතුමා භාග්‍යවන්ත ඔස්කා රොමේරෝ අගරදගුරු තුමාගේ ප්‍රකාශනයක් ශබ්ද නගා කියවූයේ ඒ වචන එතුමාගේම යැදුමක් කරගනිමිනි. ඉන් අනතුරුව දිව්‍ය සත්ප්‍රසාදීය පිළිවෙත එතුමා නිමකලේ කුමන තර්ජන හමුවේ වුවද මේ ආදරණීය ගම්වැසියන් තනිකොට තමන් නොයන බවට දෙවිදුන් තුළ තීරණය කරමිනි. ඉන් අනතුරුව එතුමා මෙවදන් පැවසීය…

 

“අවසානයේ, ජීවිතයේ සදාකාලිකව පවතින්නේ අප ජනතාව සමග බෙදා ගත් ආදරයත්, සබැඳීයාවත් පමණි. සදාතනික ජීවිතය දක්වාම එය එලෙසින්ම පවතී. එබැවින් බිය නොවන්න… අපි දෙවියන් වහන්සේට අපේ ජීවිත කැප කරමු. ‘සමිදුනී, ඔබේ හස්තයට මාගේ ප්‍රාණය භාර කරමී’…”

 

මේවා එතුමා පැවසු අවසාන වදන් කිහිපය විය. එකල රට පුරා ඇවිලී තිබූ භීෂනයට මුවා වී රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් එතුමාගේ හිස්කබල වෙඩි උණ්ඩයකින් සිදුරු කරන ලදී. මයිකල් රොද්‍රිගූ නම් සිරුර මියගිය අතර එතුල වු නිකැලැල් නිදහස් සටන්කාමී ආත්මය තවත් දස දහසක් මිනිසුනට පීඩිතයා වෙනුවෙන් කැපවෙන්නට සහ තමන්ව අතහරින්නට කියා දෙන්නට සදාකාලිකව ජීවමාන විය!
සියල්ල උදෙසා මාධ්‍ය සාකච්ඡා පවත්වන ප්‍රකාශ නිකුත් කරන සභාව එදා සිට අද වන තෙක් මේ ඝාතනය ගැන සෙවීමට කිසිදු නිසියාකාර ක්‍රියාමාර්ගයක් නොගැනීම හාස්‍යට වඩා වේදනාවට කරුණකි. නිල සංස්ථාගත සභාවේ අත්තිවාරමට වැදුණු දැඩි පහරක් බඳු වූ මයිකල් රොද්‍රිගූ නම් වූ ලෝගුව වෙනුවට සරම හැඳි මේ පූජකවරයා ගැන දැන් එන පරම්පරාවට කියාදෙන්නේ නමය ශ්‍රේණියේ ආගම පෙළපොතේ එක් පාඩමක වාක්‍ය හයහතකිනි.

 

පීඩිතයාට ආදරය කිරීම සහ දුක්විදින මිනිසුන් වෙනුවෙන් පෙනීසිටීම නියම කිතුදහමේ හරය බව ඉගැන්වූ සහ ඒ ඉගැන්වීම් ජීවත් කෙරූ ආදරණීය පියතුමනි… ඔබ ඉතිරිකොට ගිය පා සටහන් ඔස්සේ සුදු ලෝගුද, නිල් ඩෙනිම්ද ඇවිද එන බව ඔබ දකින බව සිතමි. ඔබ සතුටින් හිනැහෙන බව විඳිමි.. ජීවිතයෙන්ම ආදරය කරන්නට නාසරතයේ තරුණයෙක් වසර දෙදහකට පෙර අපට ඉගැන්වූ අතර වසර තිහකට පෙර ශ්‍රී ලාංකිකයෙක් නැවත තහවුරු කර පෙන්වු බවට මෙසේ සටහන් කර තබමි!
ඉතින් මේ වීරයාගේ මාසය ලෙසට මම නැවත කැලැන්ඩරයේ ලකුණු කරමි…!


ෂෙනූ පෙරේරා

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (71%)
  • සතුටුයි (29%)
  • හිනා යනවා (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)