ගංජා කාරයෙක්ගෙන් ආයුර්වේද පෙම්වතියට

කවි පිටුව
ගංජා කාරයෙක්ගෙන් ආයුර්වේද පෙම්වතියට

ගංජාකාරයෙක් ආයුර්වේද පෙම්වතියට ලියු කවියක්….!!!


පිළිගැන්වීම :- කුඩු චුටිට,මල් ධර්මෙට,ගුලි සෝමෙට,පෙති විජේට බොක්කෙන්ම….


අමු ඉඟුරු වදකහ සමග තිප්පිලි
කල්ක ගුලි ඒ වාගේම ඔයාගේ
රැවිලි ගෙරවිලි
කලං අවුන්ස අඩු සිනා මවනා
නළලෙ වක් රැළි
මොන මගුලකට මං පෙම් කළාදෝ
සුකිරි ඉවතලා
වෙනිවැල්ගැටේකට මේ හැටි….

 

හාතවාරිය බැලතැන වැල්පෙනෙල
මල් නැති
යකිනාරං දොඩම් ඉරිවේරියද
කටු පිරි
පස්පංගුව බිබී නස්න කර කර
පෙමින් ආතුර විටකදි
මී පැණි ගොඩක් ළග ගඳ ගගහ
සුදුළුෑණු සදාකල් තැවෙනු ඇති….

 

රතුරෝසමල් මානෙල් රේණු
ගෑවිලාවත් නැති හදවතක
මෝදක ජාපාල මිශ්රව
වස්ති වී යයි ප්රථම ප්රේමය
සංසාර සාගරේ අමෘතය වෙනුවට
මුනගැසුනේම අරිෂ්ඨය
සුපෙම්බර ගෝමර පොකුර
ඔයා මගෙ හොරිහැදුනු පෙම්හිතේ
දද අතර කුෂ්ඨය….

 

ඔලිඳ මදටිය රතුපාට ඇස්වලට
නිකකොලවලින් නානුව අනා
තැනුවාද ඇසිපිය
ඔය ජීවිතේ දැකලාම නෑ මං
ලියලන අයුරු සෙනෙහෙකොල
ගිතෙලෙන් පොඟා මී තෙලින් තවරා
පත අට එකට සිදුවා
හදවත තබමි ප්‍රේමයේ ළිපඋඩ….

 

ඔයා හීනෙක පාවෙලා යනවා
වැල්මී වැලට රෝද හයිකොට
මට පේන්නේ එහෙමමයි
කංසා එතුව කළ පාවට්ට කොළවල
අබිං නම් තිත්තයි තමයි
විරහ දුක දරන ඇල දිවට
කොහොඹපොතු දොඹමල්රේණු
කුරුඳුකොළ
මොනවටද මට පෙම්බරිය
ඔයා විතරයි මං දුටුව
තුත්තිරි අතර පොපිමල….!!!


නාගොල්ලගොඩ ධර්මසිරි බෙනඩික්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (83%)
  • සතුටුයි (11%)
  • හිනා යනවා (0%)
  • දුකයි (6%)
  • තරහයි (0%)