දෙමළාට ආදරය කරන්න….

ලඟම දෙමළා සමග ජිවිතේ බෙදාහදා ගන්න

“ලඟම දෙමළා සමග ජිවිතේ බෙදාහදා ගැනීමෙන් ඔබට…. සැබෑ ප්‍රශ්නයට උත්තරයක් සොයා ගත හැකියි….”

 

කුඩා කල සිට මගේ ජීවිතය හා අතිසමීපව බැඳුනු එක්තරා මිතුරෙක් සිටියි…. ඔහු අයත් වන්නේ දෙමළ ජන වර්ගයටය… මම අයත් වන්නේ සිංහල ජනවර්ගයටය…. අවුරුදු පහේ සිට අපි හිටියේ එකටමය…. කෑවේ බීවේ ආවේ ගියේ එකටමය…. ඇන්දේ එකම ඇඳුම්ය…. ඇත්තටම මම ඇන්දේ ඔහුගේ ඇඳුම්ය…. අපි බස් එකේ යද්දී…. කඩවලින් කද්දී පවා…. හැමවිටම මා වෙනුවෙන් වියදම් කළේ ඔහු ය…. ඒ ඔහුට යහමින් මුදල් තිබුන නිසා නොව අපේ ගෙදර ආර්ථිකය ඔහුගේ ගෙදරට වඩා දුර්වල බව ඔහු දන්නා නිසාය…. ඔහු බොහෝවිට හිටියේ අපේ ගෙදරය…. ඔහුට ගල් කැට වලින් එකතු කිරීම අඩු කිරීම කියා දුන්නේ අපේ තාත්තා ය….

 

දෙක වසරේදී මම ඔහුට දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කතාව කියා දුන්නේය…. එහි එන හැඩි දෙමළා ගේ කතාව මම කිව්වේ ඉතා පරිස්සමිනි…. නමුත් ඔහුට ඒ ගැන වගේ වගක් තිබුනේ නැත…. ඔහු ඇස් උඩ දාගෙන අහන් හිටියේ දුටුගැමුණුගේ වීරක්‍රියා ය…. කතාව අවසානයේ ඔහුගේ ප්‍රතිචාරය අපුරු ය…. “මමයි දුටුගැමුණු…. ගිය ආත්මෙක” ඔහු කියා ගත්තේ ය…. කතාව ඇහුවෙත් අද ය…. ඇසූ සැනින් දුටුගැමුණු තමන් බව ස්ථිරවම ඔහු කියා සිටියේ ය…. එසේ නොවිය හැකි බව මම ඔහුට කියන්නට උත්සහ කල ද ඔහු එය කනකට ගත්තේ නැත…. තමන් ගිය ආත්මේ දුටුගැමුණු බව පන්ති භාර ගුරුතුමියට පවා ඔහු කිවේය…. එහෙම නොවෙන්නත් පුළුවන් බව ගුරුතුමිය ඔහුට පැහැදිලි කලද…. ඔහු එය පිළිගැනීමට මැලි විය…. ඔහුට හිතෙන්නෙම ඔහු දුටුගැමුණු කියාය…. අවසානයේ මම මෙසේ කීවෙමි…. “ඔව් ඔයා තමයි දුටුගැමුණු….” ඇත්තටම අපි දෙන්නගෙන් දුටුගැමුණු ඔහු ය…. ඒ නිර්භීතකම තිබුනේ ඔහුට ය….

 

ඔහු මගේ ජිවිතයේ රැකවලා බවට පත්විය…. වරක් මට වෙනත් සිසුන් පිරිසක් පහර දුන්නේය…. ඒ ආරංචිය කණ වැකුණු සැනින් වෙවුලන්න ගත්තේ ඔහු ය…. පසුදිනම මට පහර දුන් පිරිස ඔහුගේ පහරකෑමට ලක්විය…. වරක් නොව දෙවතාවක් ම ඔහු ඔවුනට පහර දුන්නේය…. ඊට හිලව් ලෙස මට නැවත තවත් දෙවතාවක් ඔවුන්ගෙන් පෙරළා පහර කෑමට සිදුවිය…. “මම ගහන්නයි උඹ ගුටි කන්නයි මේ වැඩේ හරියන්නේ නැහැ…. අපි මේක අල්ලලා දාමු….” ඒ ඔහු ය….”එහෙනම් අල්ලලා දාමු….” ඒ මමය….

 

අපි එකම කාලයේ එකම වගේ කෙල්ලන්ට ආදරය කළෙමු…. හද පොපියන නව යෞවන ආදර හැඟුම්…. කඳුළු දුක් සෝසුසුම් බෙදාගන්න වූයේ ද අපි අපිටමය…. ඒ කෙල්ලන් අපට හමු උනේ නැත…. නමුත් අපට අපව අහිමි නොවිණි…. ඔහුගේ හිත රිදුන විට ඔහුට අඬන්නට ඕන උන විට ඔහු මා සොයා එන්නේ ය…. ඔහු වෙනත් කිසිවෙකු ඉදිරියේ අඬන්නට අකමැති විය…. අපි පාඩම් කරේ එකට ය…. පාඩම් කරනවා කියා කරේ වැඩිපුර කියව කියව ඉන්න එක ය…. මේ ලෝකේ හැමදෙයක් ගැනම අපිට කතාකරන්න දේවල් තිබිණි…. ජීවිතය හැම සිදුවීමක් ම…. හැම හැඟීමක්ම…. ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර කියන්නට හා ඇහුම් කන් දෙන්නට අපිට අප සිටියේය…. අපි එක්ව ගෙවූ හැම රාත්‍රියක්ම නින්ද අප අසලට නොආ තරම් ය…. පසුදා පහන් වන තුරු අපි කරේ අපි ගැනම කියව කියව ඉන්න එකය….

 

යුද්දෙ සැරට ගිය කාලයේ දිනක් හමුදා බැරක්කයකදී අපව නතර කොට හැඳුනුම් පත් පරික්ෂා කෙරින…. මගේ නම සිංහල නිසා මට එතැනින් ඉක්මනින් මිදෙන්නට හැකිවිය…. නමුත් ඔහුව නතර කෙරින…. ඔහුගේ නම දෙමළ නිසා ඔහුව වැඩිපුර ප්‍රශ්න කිරීමට ලක්කෙරින…. මම ඈතට නොයා එතැන ඔහු එනතුරු රැඳී සිටියෙමි…. හමුදා නිලධාරියා මා දෙස බලා ” ඔයාට යන්න කිව්වනේ…. ඇයි තාම මෙතන?” යයි ඇසුවේය…. මම මගේ මිතුරාව පෙන්වා “අපි දෙන්න එකට ආවේ…. ඒකයි ඉන්නේ” යයි කීවෙමි….” ඔය දෙන්නා එකට ආවේ උනාට ඔය දෙන්නා දෙන්නෙක්නෙ…. ගිහින් ඈතට වෙලා ඉන්න” ඒ හමුදා නිලධාරියා ගේ අණ ය…. එදින ඔහුගේ හිත රිදෙන්නට ඇති…. සමහර විට වැඩියෙන් රිදුනේ මගේ හිත ය…. ඒ මට ඔහු වෙනුවෙන් මැදිහත් වෙන්නට බැරි වීම ගැන ය…. ඔහුට ඒ නිලධාරියාගේ අවිනීත හැසිරීම ගැන නොමනාපයක් ඇතිවන්නට ඇත…. නමුත් ඔහු එය දෙමළෙකුට සිංහලයාගෙන් සිදුවූ මදි පුංචි කමක් ලෙස තේරුම් ගත්තේ නැත…. සිංහලයට වෛර කරන්නට එය හේතුවක් කරගත්තේ නැත…. සිංහලයා යන වචනයෙන් ඔහුට මුලින්ම හැඟවෙන්නේ විජය රජ්ජුරුවන් හෝ මහින්ද රාජපක්ෂ හෝ නොව මාව ය…. ඔහුට මට වෛර කල නොහැක….

 

තවත් වරක් ඔහුගේ නිවසේ අපි පාඩම් කරමින් සිටියදී රාත්‍රියේ නිවස සෝදිසි කිරීමට හමුදාවේ කිහිපදෙනෙක් පැමිණියේය…. නිවසේ අයගේ තොරතුරු ලබාගත් ප්‍රධාන නිලධාරියා නිවසේ පිරිස අමතා මෙසේ කිවේය” ඔයාලා කාලෙක ඉඳන් මෙහෙ ඉන්න අයනේ…. අපිට ඔයාලා ගැන සැකයක් නැහැ…. මේ විදියට කරදර කරන්න වීම ගැන සමාවෙන්න…. කවුරු හරි පිට කෙනෙක්…. නෑ කෙනෙක්…. මේ ගෙදර නවතින්න ආවොත් කරුණාකරලා ඒ ගැන පොලිසිය දැනුවත් කරන්න…. අපි දන්නවා ඒකත් ලොකු කරදරයක් තමයි…. දන්නැද්ද රටේ තත්වේ…. ඒ හින්දා අපිට ඒ සහයෝගේ දෙන්න….” දෙමළ නිවසක සිංහල දරුවකු පැමිණ පාඩම් කරනවා දුටු එම නිලධාරී මහතා අප වෙත පැමිණ අපගේ හිස අතගා මෙසේ කිවේය” ඔයාලා හොඳ ළමයි…. හැමදාම මෙහෙම ඉන්න…. මේ රටේ ප්‍රශ්න ඔයාලගේ ප්‍රශ්න කරගන්නෙපා….” මගේ මිත්‍රයා හමුදාවට වෛර නොකරන බව මම දනිමි…. හොඳ නරක මිනිසුන් කොතනත් සිටින බව ඔහු දනී….

 

ඔහු දැන් සිටින්නේ දුර රටක පදින්චිවය…. සතියකට දෙකකට වරක් ඔහු කොතරම් කාර්යබහුල උනත් පැයක් වත් මා හා කතා කරයි…. අපිට තවමත් ලෝකයේ ඕනෑම දෙයක්…. කතාකරන්නට වටිනා දෙයකි…. ඔහු ලංකාවට එන්නෙම මා සොයාගෙන ය…. යුගයෙන් යුගයට මා සමග සිටින මිතුරන් ඔහු කිසිදු පැකිලීමකින් තොරව ඔහුගේ මිතුරන් ලෙස ඔහු භාරගනී…. ඒ වෙනුවෙන් කීයක් වියදක් වෙනවද යන්න ඔහු ගණන් හදන්නේ නැත…. ලෝකයේ කුමන ඈතක සිටියද මගේ මිතුරු ඇසුර සමග ගෙවෙන මොහොතවල් ජිවිතේ වටිනාම මොහොතවල් බව ඔහු ඔහුගේ ජීවිතය පුරාවටම පෙන්වා ඇත…. මම කුමන අඩියකට වැටී සිටියද ඔහුගේ ඇස් බැල්ම මා වෙත යොමුව ඇති මම බව දනිමි…. මට කවදාවත් ඔහුගේ ඇස් වලින් දෙමළ බවක් පෙනී නැත…. ඔහුට ද මගෙන් සිංහල බවක් පෙනෙන්නෙ නැත…. එක්කෝ අපිට ඒ කෙහෙල්මල් දැක්ම ඇත්තෙම නැත…. නැත්නම් දැනටමත් අපි එම දැක්ම විනිවිද ගොස් ඇත…. ඉතින් ඔබ “දෙමළාගේ ප්‍රශ්නය” කියූ සැනින් මට මතක් වෙන්නේ මට ලඟම දෙමළාවය….

දැන් ඔබ මෙසේ අසාවි….

“ඔයා කතා කරන්නේ මේ ඔයාගේ යාලු…. කොළඹ හිටපු දෙමළෙක් ගැන…. අපි දෙමළා කියන්නේ අරගල කරපු…. අරගලෙන් පිඩා විඳපු…. ෂෙල් වෙඩි වැදුණු…. උස්සන් ගියපු….. අතුරුදහන් කරපු…. මරාගෙන මැරුණු දෙමළා ගැන….”

මේ අහන්න….

“දෙමළා යනු එක්කෙනෙක් නොවේ…. එකිනෙකාට වෙනස් මිනිස්සු ගොඩක්…. ඒක එක ප්‍රශ්නයක් විදියට තේරුම් ගන්න එපා…. මොකක් හරි දෙයක් ලිව්වම ඒකට සිංහලයෝ කීයක් ලයික් දාලද දෙමෙල්ලු කියක් ලයික් දාලද කියල හොයනවා වගේ ගොන්පාට් කර කර ඉන්නත් එපා…. ඒ තමයි ඔවුන් දෙස බැලිය හැකි නරකම විදිය….. ඔය සංකල්පීය දෙමළා ගැන කවි ලිය ලිය ඉන්න එක ඔබේ කවි හැකියාව වර්ධනය කරගැනීමේ අර්ථයෙන් හොඳ බව ඇත්තයි…. තව ඕනනම් ටිකක් එයින් එහාට ගිහිල්ලා ඕක ලොකු ව්‍යාපෘතියක් කරගෙන…. එන්ජිඕ එකක් අටවගන්න…. පිඑච්ඩී එකට පාර හදාගන්න වගේ දේවලුත් කරගන්න පුළුවන් බව ඇත්තයි…. එහෙ මැරිච්ච දෙමෙල්ලු ගැන මෙහෙ බී එම් අයි සී එච් එකේ විහාරමහාදේවි එකේ…. හූ තිය තිය…. අඬ අඬ විලාප තිය තිය…. කෝලං සංදර්ශන පවත්ව පවත්ව ඉන්නත් පුළුවන් ඕනනම්…. නමුත් ලඟම දෙමළා සමග ජිවිතේ බෙදාහදා ගැනීමෙන් ඔබට ඊට වඩා සැබෑ ප්‍රශ්නයට උත්තරයක් සොයා ගත හැකියි….

 

දෙමෙල්ලු සිංහලයෝ කියන්නේ වෙන කාටවත් නෙවෙයි අපිටම තමයි….


චාමර ගුරුගේ

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (71%)
  • සතුටුයි (29%)
  • හිනා යනවා (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)