දසුන් සියදිවි නසාගත් වීඩියෝව ලීක් වෙයි

දසුන් සියදිවි නසාගත් වීඩියෝව ලීක් වෙයි

අපි දැක්කා වෙබ් අඩවි කිහිපයකින් මේ වගේ හෙඩිමක් දාලා පට්ටපල් බොරු ගොතලා කියලා තියෙන හැටි. ඒ මදිවට දසුන්ගේ ඡායාරූප දාලා හදපු වීඩියෝ වලට නපුංසක යන් වගේ පසුබිම් කථනය කරලා සියදිවි නසා ගත් හේතුව, සියදිවි නසාගත් හැටි ඇස් දෙකෙන් දැක්කා වගේ ගොතපු කතන්දරත් කියලා තිබුනා. පිට රටක කොල්ලෙක් එල්ලිලා මැරෙන වීඩියෝ එකක් හොයාගෙන ඒකෙ මුහුණ බොඳ කරලා දසුන් එල්ලිලා මැරෙන හැටි කියලා දාලා තිබුනා. මොන ලැජ්ජා නැති වැඩද බං මෙව්වා…. තමන්ගේ මරණය මේ වගේ විකුණාගෙන කනවා කියලා ඒ මනුස්සයා දැනගෙන හිටියා නම් මොන ප්‍රශ්නයක හිටියත්, මොන මානසික තත්වයක හිටියත් මැරෙන්න තීරණය කරන්නේ නැති වෙන්නත් ඉඩ තිබුනා.

දසුන්ව විකුනලා විතරක් නිකං හිටියේ නැහැ, දසුන්ට සම්බන්ද නිළියොයි, යාළුවොයි හැම එකාවම විකුනන්න ගත්තා. අන්තිමට දසුන්ගේ අම්මා දසුන්ගේ දේහය ළඟ හඬා වැලපෙන වීඩියෝවක් අමු අමුවේ “හිරු ගොසිප්” ඇතුළු තවත් ගොසිප් කාරයෝ ටිකක් ප්‍රචාරය කරලා තිබුනා.

දෙකයි පනහේ පඳුරු මීඩියා කාරයෝ YouTube channel එකක් පටන් අරගෙන ඒවා හිට් කරගෙන, subscribe කරගෙන උඹලා ඩේටා කපාගෙන බලන වර්චස් වීඩියෝ හරහා සල්ලි හොයන එකයි උන්ගේ අරමුණ. ලංකාවේ ඉන්නේ කුණු හොයන, හරියට සාක්ෂි නැතුව ඕපාදූප පිළිගන්න ජාතියක් කියන මූලික සිද්ධාන්තයෙන් ඒ වගේ කපටි නරි හරි ලස්සනට ප්‍රයෝජන ගන්නවා.

අර ගෑනිගේ අරක මෙන්න
අහවල් නිළියගේ වීඩියෝවක් ලීක් වෙයි
ශුක්‍රානු ගැන ඔබ නොදන්නා කතා මෙන්න
සුපිරි ලිංගික සතුට ලබන්නේ මෙහෙමයි
මේ දේ ඇහුවොත් ඔබ පුදුම වේවි
අරවා, මේවා කෑවොත් ඔබට මෙහෙම වේවි

කියලා අමූලික බොරු, කුණු, අනුන්ගේ පුද්ගලික ජීවිත පබ්ලික් කරලා විකුණන උන්ට එරෙහිව නැඟිටින්න උඹලට තාම අවස්තාව තියෙනවා. උන්ව ගොඩ දාන්නත්, උන්ව වට්ටන්නත් පුළුවන් උඹලට විතරයි. ඒ හින්දා උඹගේ ඔලුව කුණු කන්දක් කරගන්නේ නැතුව, උඹේ ඩේටා වලින් උන්ට සල්ලි ගෙවන්නේ නැතුව, අදාළ YouTube channel එක unsubscribe කරනවද නැද්ද කියන එක උඹලාගේ තීරණයක්.

වැදගත් යමකට මේ තරම් වීව්ස් නැහැ. මේ වීව්ස් හරහා උන්ට ලැබෙන්නේ සල්ලි. ඒත් කිසිම වැඩක් නැති, ජීවිතයට, දැනුමට හෝ වෙන කිසිම ආකාරයකින් මිනිහෙක්ට ප්‍රයෝජනයක් නැති මේ වගේ ලපයි සිපයි ආතල් වලට නම් ඕනෑ තරම් වීව්ස්, ලයික් එහෙම තියෙනවා. මේ ඔක්කොටම වග කියන්න ඕනේ උඹලා….

අපි ප්‍රශ්න කිහිපයක් උඹලාගෙන් අහනවා….

  • දසුන් එල්ලිලා මැරුණු වීඩියෝ එකෙන් උඹලට ඇති ප්‍රයෝජනය මොකක්ද?
  • විද්‍යාව දූෂණය කරපු වීඩියෝව බලලා උඹලාට ලැබුනේ මොනවද?
  • පියුමිට කෙසෙල් වලින් ගහපු වීඩියෝව දැක්කයි කියලා උඹලාගේ ජීවිතයට ලැබුනේ මොනවද?

රටක් විදියට ගත්තම මහා ප්‍රශ්න කන්දරාවක් තියෙද්දී, උන්ට බැරි වුනා එක වීඩියෝ එකක් හදලා මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න, ඒ ප්‍රශ්න ගැන මිනිස්සු දැනුම්වත් කරන්න….

කොහෙද…. ඊට වඩා අනිත් එකාගේ රෙද්ද අස්සේ තියෙන හෙළුව ඊට වඩා අපේ උන්ට රහයි.

උඩින්ම තියෙන රූපයේ ගෙල වැලලාගෙන ඉන්නේ දසුන්ද කියන්න අපි දන්නේ නැහැ. මේ පින්තුරය දැන් ප්‍රසිද්ධ නිසා අමුතුවෙන් බොඳ කරන එකත් තේරුමක් නැහැ. නමුත් අපි මේ කියන්න උත්සහකරන්නේ උඹලා කුණු කන්දල් බලලා මේ ගොසිප් කාරයන්ට ලොකු තැනක් දුන්නා වගේම, ආපහු මේ ක්‍රමය වෙනස් කරන්නත් ඕනේ කුණු කන්දල් බලන උඹලාමයි කියන එක. මොකද අපිත් හොඳටම දන්නවා උඹලා මේ ලිපිය කියවන්න එන්නෙත් මේ හෙඩිම සහ දාලා තියෙන පින්තුරය නිසා බව. අපි මේ පණිවුඩය උඹලට දෙන්න ඕන නිසා පාවිච්චි කලෙත් උඹලාගේ ඒ කුණු හෙවීමේ දුරවලතාවයමයි. ඒ නිසා තමුන් ගැනම ලැජ්ජා වෙයං….


කුලසේකර රෆායල් නිශාඩ්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (77%)
  • සතුටුයි (4%)
  • හිනා යනවා (4%)
  • දුකයි (7%)
  • තරහයි (9%)