“හෙළුව පෙන්නන කූඹියෝ” එක්ක ඉරාජ්ලා පියුමිලා

විචිත්‍ර
"හෙළුව පෙන්නන කූඹියෝ" එක්ක ඉරාජ්ලා පියුමිලා

හැංගි හැංගි වැලක් බලපු කාලේ දැන් ඉවර වේගෙන යන්නේ. තරුණ වුනත් අපි වයසට ගිහිං දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික මාර විදියට වෙනස් වෙලා තියෙන්නේ කියලා දැනෙන්නේ YouTube එකට ගියාම. කොහොම වුනත් ලංකාවේ වැල කර්මාන්තයේ වර්තමාන පුරෝගාමියා විදියට ඉරාජ් අයියව හඳුන්වන්න පුළුවන්. sex ගෑවිලාවත් නැති සිංදුවකට වුනත් හරි ලස්සනට හෙළුව පෙන්නන්න ඉරාජ් අයියා දන්නවා. මං නං හිතන්නේ ඉරාජ් අයියා හැංගිලාවත් වැලක් බලලා නැතිව ඇති. ඒකනේ ප්‍රසිද්ධියේම වැල ෂූට් කරලා YouTube එකේ පෙන්නන්නේ. වතුර පොදක් වැටුණු නැති කාන්තාර කාරයන්ට නම් වැල ඇද ඇද ඉරාජ්ලාගෙන්, පියුමිලාගෙන්, ආශාවරීලාගෙන් ආතල් එකක් ගන්න එක අවුලකුත් නෙමෙයි. කොහොම වුනත් ඉරාජ් අයියා අපේ සුදුහුණු ගාපු සොහොන් කොත් මිනිස්සුන්ගේ ඇතුල හරි අපූරුවට අල්ලාගෙන තියෙනවා…. අන්න එතැනදී ඉරාජ් අයියාගේ වැරැද්දකුත් නැහැ. මොකද පියුමිට කෙසෙල් ගෙඩිවලින් ගහපු අයම තමයි, පියුමි හින්දා කෙසෙල් වවා ගන්නේ කියන එකත් ඉරාජ් අයියා දන්නවා.

 

ඒ කතාව දැන් ඇති, අපි එමු කූඹියන්ට….

 

කූඹියෝ, A/L ඉවරයි මෑත කාලෙකදී ආපු හෙළුව පෙන්නපු නිර්මාණ කියලා බය නැතිව කියන්න පුළුවන්. මොකද මේ කූඹියෝ උඹලාගේ අපේ හිත් වල ඔළුවල කුරුවල් වෙවී පිරිලා තියෙන ආකල්ප වල ඇඳුම් ගලෝනවා හරි ලස්සනට. ඊට පස්සේ අලුත් ඇඳුම් අන්දෝනවා. ඔය දියවන්නාවේ හරක් ගාලේ ඉන්න උදවියගෙත් ඇඳුම් ගලවනවා හරි නිර්මාණාත්මක විදියට. ඒ වගේම තමයි ඉරාජ්ලාගේ, පියුමිලාගේ මල් සිංදු කාරයන්ගේ, මල් නාට්‍ය කාරයන්ගේ හෙළුව පෙන්නන්නේ නිකම්ම නෙමෙයි. දරුණු කනේ පහරවලුත් එක්ක. ඒ කනේ පාරවල් දරා ගන්න බැරිව මල් නාට්‍ය කාරයෝ බුකියේ අඬන හැටිත් උඹලා දකින්න ඇති.

 

හුඟක් වෙලාවට ඉරාජ්ලා වගේම බොළඳ නාට්‍ය කාරයෝ පෙන්නන්නේ උඹලාගේ, අපේ යටි හිත කැමති දේ. අකමැත්තෙන් වුනත් පිළිගන්න ඕන ඇත්ත තමයි බං ඒක. හැබැයි ඔය මොන ආසාවටත් වඩා අපේ ඇත්ත තත්වය අපිට හොඳට දැනෙනවා. අන්න ඒ අපේ රියල් කතාව තමයි කූඹියෝ අපිට වෙන පැත්තකින් පෙන්නන්නේ. ඉරාජ්ගේ වීඩියෝවල තියෙන දේවල්, දෙවැනි ඉනිමේ සුරංගනා කතන්දර, ඒ විදියටම ඇත්ත ජීවිතේ වෙන්න පුලුවන්ද කියලා හිතලා බලපල්ලා….

 

අපේ කලු මොනරි කියපු විදියට, කටු අකුලේ මල් ඇහැරුණු කාලය, ඒ මල් වල සුවඳ දැනුනු කාලය දෙවෙනි ඉනිමෙන් අවසන් කරද්දී…., ආයෙමත් අහම්බෙන් වගේ පායනා කාලේදී, රෑ දවල් මහන්සි වී එක්කම මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ කියලත් ඇහෙන්න පටන් ගත්තා. කවුද කියන්නේ අපි පුංචි කාලේ කියපු සිංදු ආපහු කියන්න බැහැ ලැජ්ජයි කියලා? අන්නේකටයි කියන්නේ ඕනෑම පරණ දෙයක් ගැන අලුත් විදියකට කතා කරන්න පුළුවන් කියලා.

 

“මං මිනී මරලා නෑ අයියේ, මං ගෑනු දූෂණය කරලා නෑ, මං කප්පං අරගෙන නෑ…..
මං හොරෙක්….
මං තියෙන උන්ගෙං හොරකං කරන හොරෙක්
මං හිතන මිනිහෙක්….

මං කාටවත් ඩැමේජ් නොකර, කාගේවත් ලේ හොලවන්නෙ නැතුව මගේ වැඩේ කරන මිනිහෙක්…. අයියා ඒක හොඳටම දන්නවා…..”

 

ඇත්තට මුං හොරු…. අර උඩින් කියපු අනිත් උන් වගේ නෙමෙයි. අපේ හදවත් ලස්සනට හොරකං කරපු අපි කාටවත් ඩැමේජ් නොකරපු, කොටින්ම කිව්වොත් ගෑනු තිරයේ දූෂණය නොකරපු, වචනෙකින්වත් හිංසා නොකරපු කම්බ හොරු ටිකක්.

ඒ කියන්නේ තාමත් අපේ හිත් හොරකං කරන්න අපේ හිත් අපි ළඟ තියෙනවා කියන එක….

 

ඇත්තටම මේ ජීවිත වලට තව නැති වෙන්න දෙයක් නෑ….
හැබැයි ඉරාජ්ලා, මල් සිංදු කාරයෝ, මල් නාට්‍ය කාරයෝ මැරුනොත්
උන් හරහා ගොඩ ගිය, උන්ගෙන් සුරාන්තයට පත් වුන සනුහරේම ඉවරයි….

 

ඉරාජ්ලා, ආශාවරීලා, පියුමිලා, දෙව්මිලා, සමල්කලාට වඩා ජෙහාන්ලා, ප්‍රියන්තලා, ජූඩ්ලා, ධනපති පන්තියේ වුනත් හිරුණිලා අංජනාලා අපේ හදවතට කතා කරන්නේ අන්නේ හින්දයි.


කුලසේකර රෆායල් නිශාඩ්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (86%)
  • සතුටුයි (5%)
  • හිනා යනවා (8%)
  • දුකයි (1%)
  • තරහයි (0%)