ඇලඩින් ගේ පොලෝසිය

අපේ රට

අපේ පොලීසියේ නම පොලීසිය ය

පොලීසියේ ඉන්නේ ඇලඩින්ලාය. ඇලඩින්ගේ පහන ඇතුලේ බූතයෙක් ඇත. ඒ බූතයා – පොදු නීතියයි. රියල් බූතයා බොහෝ විට සාධාරණ වුනත්, සමහර වෙලාවට පහන අතගාලා එලියට ගන්නේ පොලීසියට අවශ්‍ය, ඒ වෙලාවේ හැටියට සුදුසු විශේෂ බූතයන් ය. අන්න ඒ වගේ බූතයෝ මවන පොලිස් ඇලඩින්ලා ලෝකයේ වෙන කොහෙවත් නැත. පහනේ ඉන්න රියල් බූතයාට හැමෝම යටත් විය යුතු වුනත්, පොලීසියෙන් මවන බූතයාට පොලීසිය යටත් නැත. ඒ මොකද කිව්වොත් මවන්නේද, වනසන්නේද පොලීසියමය. පොලීසියේ ඇලඩින්ලාට අපි මෙතැන් පටන් පො + ඇලඩින් හෙවත් පොළඩින් කියා ලේසියට හඳුන්වමු.

 

පොළඩින් අයියලාට ලව් කරන කොල්ලන් සහ කෙල්ලන් පේන්න බැරිය. පෙනුණු ගමන් කසන්නේය. කසන ගමන් දුවන්නේය. දුවලා ගහලා, බැනලා එලවන්නේය. පොළඩින් අයියලාට එහෙම වෙන එක සාධාරණය. එයට අප දොස් කිවයුතු නැත. පනත සම්මත වුනාට පස්සෙවත් පොළඩින් අයියලාගේ දුක්ඛිත තත්වය දුරු වේවා කියා අප පතන්නෙමු.

 

අසාධාරණයකට එරෙහිව කතා කරන පිකටින් කරන කොල්ලෙක්, කෙල්ලෙක් පෙන්න බැරිය. දුටු විගසම පොළඩින් අයියලාගේ අහිමිවීමේ දුක කරණකොටගෙන යටි හිතේ තැන්පත් වූ සිතුවිල්ල නිසා ඒ කොල්ලන් කෙල්ලන් කෙරෙහි මහා දරුණු වෛරයක් උපදියි. ඉතිං පොළඩින් අයියලාගේ බැටන් පොල්ල වනා ඒ වෛරය තුනී කරගැනීමට ඔවුන් යොමු වෙති.

 

කෙහෙල් පඳුරු අස්සේ, පාර අයිනේ කැලෑ අස්සේ පැය ගණන් හැංගිලා ඉඳලා හයිස්පීඩ් ගියොත් හිටු කියලා පාරට පනින පොළඩින් අයියලා, හැංගිලා ඉඳලා බැරිම තැන හයිස්පීඩ් නොගියත් ආසාවට වගේ වාහනයක් නවත්තලා කෝචෝක් එකක් දාලා පොඩ්ඩක් ටෝක් කරන්නේ විසිපන්දාහක් නැතත් යන්තං බඩගින්න නිවාගන්න දහ පාලොස් දාහක්වත් ගලවා ගන්න ගේමක් ගහන්න හිතාගෙන. හැබැයි මැති ඇමතිගොල්ලෝ එහෙම හයිස්පීඩ් එකේ තව දහපාලොස් දෙනෙක් වට කරගෙන පිඹගෙන යනකොට මොකද වෙන්නේ දන්නවද. මේ පොළඩින් අයියලා අර කෙහෙල් ගස් අස්සේ, පඳුරු අස්සේ හැංගිලා ඉන්නවා මිසක්, එලියට නම් එන්නේ නෑ. බැරිවෙලා හරි ආවත් හිටං නිදි වගේ, නොදැක්කා වගේ ඉන්නවා. ඇයි අප්පා එහෙම වෙන්නේ? පහුවදාට ගෙදර යන්න වෙයි කියලා බය නිසාද දන්නෑ…. සමහර වෙලාවට පොලිස් නිල සුනඛයන්ගේ රාජකාරිය කරන නිසා වෙන්නත් පුළුවං…. කටු කන එක…. හැබැයි උන්ටත් හොඳට කන්න හම්බෙනවලු….

 

 

කොහොම වුනත් මෙහෙම වෙද්දී හෙට අනිද්දට පුට් සයිකලේ යන මිනිස්සුන්ටත් මේ පොළඩින් අයියලා දඩ කොළ දෙයි හෙල්මට් නෑ කියලා.
විල් බැරැක්කයක්වත් තල්ලු කරගෙන යන්න බැරි කාලයක් බං මේක….

පහුගිය දවසක සුළු වැරැද්දක් කළා කියලා පොළඩින් අයියෙක් ඇවිත් කුදලාගෙන පොළඩින් ස්ථානයට යනකොටම හම්මේ බලන්න එපැයි ලස්සනට කන අතගාලා, මගේ ඔලුවට අවම බලය පාවිච්චි කරලා පිළිගත්තු හැටි. එදා මං ඇතුලේ ඉන්නකොට තමා දැක්කේ අර ශාන්ත දාන්ත ඇමති කෙනෙක්ගේ පුංචි අත්වැරද්දක් හිංදා වෙච්ච කෝටි ප්‍රකෝටි ගානක පොඩි අතපසු වීමක් නිසා පන්සලකට යන ගමන් පොළඩින් ස්ථානය බලලා යන්න ඇවිල්ලා. හම්මේ බලන්නෙපැයි සාන්ත දාන්ත පාට. ලස්සන සුදු ඇඳුම…. පොළඩින් ඔපිස් එකේ ලොකු එක්කෙනාද කොහෙද හොඳට පස්ස පැත්ත පෙන්න දෙකට නැමිලා අර පිං කඳ පිළිගත්තු හැටි…. දෙයියනේ කියලා මමත් කවදා හරි ඇමතියෙක් වේවා කියලා හිතාගෙන පිං කඳ දිහා බලාගෙන පිං අනුමෝදන් කරගත්තා….

 

පොළඩින් ගේ ඇලෝසිය හෙවත් ඇලඩින් ගේ පොලෝසිය

 

සාදු…. සාදු…. සාදු….

 


සටහන – කුලසේකර රෆායෙල් නිශාඩ්

සියලුම කාටුන් නිර්මාණ – Papadamn facebook පිටුවෙන්

මේ ගැන ඔයාගේ අදහස....?
  • නියමයි (31%)
  • සතුටුයි (13%)
  • හිනා යනවා (44%)
  • දුකයි (6%)
  • තරහයි (6%)